යළි පණ ලද උඩරට මැණිකේ

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට මාර්ග පද්ධතියට සිදුවූයේ කිව නොහැකි තරමේ හානියක්.
එය දුම්රිය මාර්ග පද්ධතියට කියා වැඩි වෙනසක් වූයේ නැහැ.
සුළි කුනාටුවෙන් වැනසී ගිය උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනක් අද උදෑසන සිදුවුණා.
ඒ දින 23කට පසුවයි.
ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට අඹේවෙල දක්වා වූ කොටසේ දුම්රිය ධාවනය අද යළි ආරම්භ වුණා.
මෙම අවස්ථාව සඳහා විදෙස් සංචාරකයින් බොහෝ පිරිසක් එක්ව සිටීමත් විශේෂත්වයක්.

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතළම ස්වභාවික ව්‍යසනයෙන් සෘජු බලපෑමක් මෙරට මාර්ග පද්ධතියට එල්ල වූවද ඉන් වැඩිම බලපෑමක් එල්ලවුණේ දුම්රිය මාර්ග පද්ධතියටයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩිම ආදායමක් උත්පාදනය කෙරෙන දුම්රිය ගමන් බොහොමයක් ඇත්තේත් මේ උඩරට දුම්රිය මාර්ග පද්ධතිය මූලික කරගෙනයි.
ඒ අතරින් ඇල්ල ඔඩිසි දුම්රිය විශේෂ වූයේ ඒ සඳහා ලොව පුරා සංචාරකයින්ගෙන් ලැබුණු අතිමහත් ඉල්ලුම හේතුවෙන්.
මේ නිසා ඇල්ල ඔඩිසී දුම්රිය ගමන දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් මෙන්ම මෙරට විශාලතම සංචාරක ආදායමක් බවට ද පත්වී තිබුණා
කෙසේ වෙතත් දිට්වා සුළි කුණාටුව හමුවේ උඩරට දුම්රිය මාර්ගය ස්ථාන රැසකින් විනාශ වීම නිසා ඇණ හිටි දුම්රිය ධාවනය නිසා මෙරට ආර්ථිකයට එල්ල වූ බලපෑමද සුළු පටු නැහැ.
කෙසේ වෙතත් ආපදා තත්ත්වයෙන් ක්‍රමක්‍රමයෙන් යථාවත් වෙමින් ඇති මෙරට ආර්ථිකයට යම් ශක්තික් හෝ වීමේ අරමුණෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොටසක්, එනම් බදුල්ල සිට අඹේවෙල දක්වා කිලෝමීටර් 35ක කොටසේ දුම්රිය ධාවනය අද පෙරවරු 09.30ට ආරම්භ වුණා.
ඒ දින 23කට පසුවයි.

එම වේලාවටම අඹේවෙල දුම්රිය ස්ථානයෙන්ද බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් පිටත්වුණා.
එම අවස්ථාව සඳහා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතාද එක්ව සිටියා. මෙලෙස ධාවනයට එක්වූ දුම්රිය උදෑසන 9ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර පෙරවරු 11.52ට අඹේවෙලට ළගාවීමට නියමිත අතර තවත් දුම්රියක් පස්වරු 3ට බදුල්ලෙන් පිටත්ව පස්වරු 5.53ට අඹේවෙල දක්වා පැමිණීමට නියමිතයි.
එමෙන්ම උදෑසන 9ට අඹේවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 12.16ට බදුල්ලට ලඟාවීමට නියමිත අතර, පස්වරු 3ටද අඹේවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන තවත් දුම්රියක් පස්වරු 05.46ට බදුල්ලට පැමිණීමට නියමිත බවයි දුම්රිය දොපර්තමේන්තුව සඳහන් කළේ.
ඇල්ල ඔඩිසිය තරම් නොවුනත් මෙරට කඳුකරයේ නෙත් සිත් පිනවන දසුන් බොහොමයක් විවෘත දුම්රිය ගමනක් ඔස්සේ නැවතත් විඳගැනීමට දෙස් විදෙස් සංචාරකයින්ට මේ හරහා අවස්ථාව ලැබෙනවා.
ලබන වසරේ අප්‍රේල් මාසයට පෙර නානුඔය සහ අඹේවෙළ අතර දුම්රිය මාර්ගය ද කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බවයි දිවා රෑ නොමැතිව මේ මාර්ග සංවර්ධන කටයුත්ත පසුපස සිටිනා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ.

Share