යතුරුපැදියකින් ගමන්කරමින් සිටි කතෝලික පියතුමෙකුට කොටදෙණියාවේදී පොලිස් නිලධාරීන් පහර දෙයි

යතුරුපැදියකින් ගමන්කරමින් සිටි කතෝලික පියතුමෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් හය දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ අගරදගුරු පදවියේ කතෝලික සභා නිකායක් මගින් පාලනය කෙරෙන කොටදෙණියාවේ පිහිටි ගොවිපොලක වතු සහයක පරිපාලක ලෙස කටයුතු කරන ගරු පියතුමා පොලිස් පහර කෑමකට ලක්ව තිබුණේ ඊයේ රාත්‍රී 7ට පමණ.
දිප්පිටිගොඩ දේවස්ථානයේ දිව්‍ය පූජාව අවසන් කරමින් නැවත එමින් සිටින අතරතුර මෙම සිද්ධියට මුහුණ දී තිබුණා.

පොලිසිය පවසන ආකාරයට පියතුමා මාර්ග බාධකයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා යතුරුපැදියක් ධාවනය කර තිබෙනවා.
ඒ අනුව පොලිස් නිලධාරින් යතුරු පැදිය නවතා ගෙන ඇත්තේ කිලෝමීටර 1.5ක පමණ දුරක් හඹා යෑමෙන් පසුවයි.
පොලිස් නිලධාරීන් හය දෙනෙක් පියතුමාගේ යතුරුපැදිය හඹා ගොස් තිබෙනවා.
යතුරුපැදිය නතර කර ගැනීමෙන් පසු දෙපාර්ශ්වය අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර එහිදී පොලිසිය පියතුමාට පහර දී තිබුණා.

මේ වන විට මිලාන් ප්‍රියදර්ශන පියතුමා මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.
රෝහල්ගතව සිටින පියතුමාගේ තත්ත්වය විමසා බැලීම සඳහා කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සහ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිශාන්ත පියතුමා අද දහවල් මීගමුව මහ රෝහල වෙත පැමිණියා.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ද එක්ව සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් කෙරුණු විමර්ශන අනුව පොලිස් නිලධාරින් 6 දෙනෙකු අද පෙරවරුවේ ගම්පහ පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබුවා.
අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරින් 6දෙනා ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ ‍සාමාජිකයන් බව පොලිසිය පැවසුවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් සැරයන්වරු තිදෙනෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙක්
අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කෙරුණා.
එහිදී ඔවුන් හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.


Share