ගිනි අවියක් හා උණ්ඩ සමග රාගම, පහලවත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිස් භාරයට ගැණුනු මෝටර් රථය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර මෝටර් රථය තුළ තිබී හමු වූ ගිනි අවිය සහ පතොරම් ගැබ් දෙක අපරාධයක් සඳහා භාවිත කර ඇත්ද, නැතහොත් අපරාධයක් සඳහා සැලසුම් කළ ඒවාද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා.
හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක්, රාගම, පහලවත්ත සුසාන භූමිය අසළ ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී ඇත්තේ ඊයේ රාත්‍රී 7.35ට පමණ.
ඒ අනුව ක්‍රියාත්මක වූ රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එය පරීක්ෂා කරනු ලැබුවා.
එහි දී මෝටර් රථය තුළ තිබී T – 56 වර්ගයේ ගිනි අවිය සහ පතොරම් ගැබ් දෙකක් ද පොලිසියට හමු වුණා.
කෙසේවෙතත් මෝටර් රථය සහ ගිනි අවිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.





