මේ වසර මාධ්‍යවේදීන්ගේ මරනීය වසර බව මරියා රෙස්සා පවසයි

මේ වසර මාධ්‍යවේදීන්ගේ මරනීය වසර බව නොබෙල් සාම ත්‍යගලාභී ලෝ ප්‍රකට පිලිපීන මාධ්‍යවේදීනියක වන මරියා රෙස්සා පවසනවා.
ඇය මේ බව පවසා සිටියේ අද මැලේසියාවේ ක්වාලලාම්පූර් අගනුවර දී ආරම්භ වූ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ගේ ලෝක සමුළුව 2025 ප්‍රධාන දේශනය පවත්වමින්. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ගේ ලෝක සමුළුව 2025 අද මැලෙසියාවේ ක්වාලලාම්පූර් අගනුවර ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වුනා.
ලබන 24 වැනි දා දක්වා පැවැත්වෙන මේ සමුළුව සඳහා 100කට අධික රටවල් නියෝජනය කරමින් මාධ්‍යවේදීන් සහ මාධ්‍යපුහුණුකරුවන් 1500ට අධික සංඛ්‍යාවක් සහභාගී වනවා.
මෙහිදී සමුළුව ඇමතූ මරියා රෙස්සා වැඩිදුරටත් කියා සිටියේ අද වන විට ගවේෂණාත්මක මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදය අන් කවරදාටත් වඩා අනතුරේ ඇති බවයි. ගවේෂණාත්මක මාධ්‍යවේදීන් උත්ප්‍රේරණය සඳහා ලෝක බලවතුන් වඩාත් කැපවිය යුතු බවත් යුරෝපා සංගමය ඒ සම්බන්ධයෙන් ගත් ධනාත්මක ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යා යුතු බවත් ඇය අවධාරණය කලා.
මෙම සමුළුවේ දී ගවේෂණාත්මක මාධ්‍යවේදය සඳහා නව තාක්ෂණය භාවිතය, ගවේෂණාත්මක මාධ්‍යයට අදාළ උපයාමාර්ග සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකර තිබුනා.
මෙම සැසිවාරයේ දී ඒ සඳහා වන සාකච්ඡා, පුහුණුවීම් සහ අත්දැකීම් බෙදා ගැනීම සඳහා වන අතුරු සැසි ගනනාවක් ද සූදානම් කර තිබෙනවා.
මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගවේශනාත්මක මාධ්‍යවේදීන් ගනනාවක් ද එක්වී සිටියා. මේ සමුළුව සඳහා මෙරට රූපවාහිනී ගවේෂණාත්මක මාධ්‍යවේදී නියෝජනය සඳහා ටීවී සුප්‍රීම් අපටත් අවස්ථාව හිමිවීම විශේෂත්වයක්. මෙම සමුළුව අද සිට ලබන 24 වැනිදා දක්වා පැවැත්වෙනවා.

Share