මෙරට විශාලතම සූර්ය බලශක්ති ව්‍යාපෘතියෙන් දැනටමත් මෙගාවොට් 50ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට

හම්බන්තොට ඉදිකෙරෙමින් පවතින මෙරට විශාලතම සූර්ය බලශක්ති ව්‍යාපෘතියෙන් දැනටමත් මෙගාවොට් 50ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට ලබා දෙන බව ව්‍යාපෘති සමාගම පවසනවා.

මෙගා වොට් 150ක සමස්ත ධාරිතාවක් ඇති ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු මෙරට දිවා කාලයේ සමස්ත ඉල්ලුමෙන් සියයට 20ක් සපුරා ලීමට හැකි බව ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරු නිලංක බණ්ඩාර මහතා සඳහන් කළා.

හම්බන්තොට මේ වන විට ඉදිකෙරෙමින් පවතින්නේ ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිවන විශාලතම සූර්ය බලශක්ති ව්‍යාපෘතියයි.
අක්කර ගණනක පැතිරුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක පෞද්ගලික ආයෝජනයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.
එමගින් අපේක්ෂිත සමස්ත විදුලි නිෂ්පාදනය මෙගාවොට් 150ක්.
ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙගාවොට් 50ක් දැනටමත් ජාතික විදුලි පද්ධතියට එක් කර තිබෙනවා.
මේ වසර අවසන් වීමට පෙර සමස්ත ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂිතයි.
වික්ටෝරියා සහ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරවලට පමණක් දෙවැනි වන මේ ව්‍යාපෘතිය මෙරට පුනර්ජනනීය බලශක්ති ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක්.
ව්‍යාපෘතිය අවසන් වූ පසු දිවා කාලයේදී මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 20%ක් සපුරාලීමට අපේක්ෂා කරන අතර, එමගින් වාර්ෂිකව නියං කාලසීමාවලදී දකුණු පළාත මුහුණ දෙන විදුලි කප්පාදුවටත් තිරසර විසඳුමක් ලැබෙනු ඇති.

Share