⁣නාවික හමුදාවේ සන්ධිස්ථානයක්

මෙරට නාවික හමුදා නෞකාවක් සිය දීර්ඝතම තනි මුහුදු ගමන ආරම්භ කරමින් ශ්‍රී ලංකා නාවික ඉතිහාසයේ තවත් කැපී පෙනෙන පරිච්ඡේදයක් ඊයේ සනිටුහන් කෙරුණා. මෙලෙස ගමන් ආරම්භ කළේ අම‍ෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකා නාවික හමුදාවට පරිත්‍යාග කළ සිව්වැනි එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකාවයි. P628 නෞකාව බැල්ටිමෝර් එක්සත් ජනපද වෙරළාරක්ෂක ජැටියෙන් ආරම්භ ක⁣ළේ නාවික සැතපුම් 14,775 ක මුහුදු ගමනක්. ‘Decisive’ ලෙස ඇමෙරිකාවේ දී හඳුන්වනු ලැබූ එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකාව පරිත්‍යාග කිරීමේ උත්සවය මේරිලන්ඩ් හි බැල්ටිමෝර් නගරයේ එක්සත් ජනපද වෙරළාරක්ෂක අංගනයේදී පැවැත්වුණා.

එක්සත් ජනපද වෙරළාරක්ෂක නෞකාව පරිත්‍යාග කිරීම ශ්‍රී ලංකාව සහ අම‍ෙරිකා එක්සත් ජනපදය අතර පවතින විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතාව පෙන්නුම් කිරීමක් මෙන්ම සෙවීම් ,ගලවා ගැනීමේ , ආපදා ප්‍රතිචාර දැක්වීමේ ක්ෂේත්‍රයේ සමුද්‍රීය නිරීක්ෂණ, සාමය සහ ආරක්ෂාව, පුහුණුව සහ ධාරිතා වර්ධනය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ නාවික නිදහස සහතික කිරීම සඳහා එක්ව කටයුතු කිරීමේ අවස්ථාව පුළුල් කරනු ලබන්නක්.

මෙම නෞකාව කපිතාන් ගයාන් වික්‍රමසූරියගේ නායකත්වය යටතේ, නිලධාරීන් 14 දෙනෙකු සහ නාවිකයින් 72 දෙනෙකු ඇතුළුව ඉහළ පුහුණුව ලත් ශ්‍රී ලාංකික නාවික කාර්ය මණ්ඩල සාමාජිකයින් 86 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරනු ලබනවා. ශ්‍රී ලංකාවට ළඟා වීම සඳහා නෞකාව නාවික සැතපුම් 14,775 ක දුරක් ගමන් කරනු ඇති අතර එය ශ්‍රී ලංකා නාවික නෞකාවක් විසින් සිදු කරන ලද දීර්ඝතම තනි මුහුදු ගමන බවට පත්වනු ඇති. ඒ සඳහා ගත වනු ඇතැයි අපේක්ෂිත කාලය දින 77ක්. තවද පැනමා ඇළ හරහා ගමන් කළ පළමු ශ්‍රී ලාංකික නෞකාව වීමේ ගෞරවයද P628 හිමි කර ගැනීමට නීයමිතයි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ දියුණු නාවික හැකියාවන්ට මෙන්ම සංකීර්ණ සමුද්‍රීය මෙහෙයුම් සඳහා පහසුකම් සපයන ජාත්‍යන්තර සහයෝගීතාවයට ද මෙම නෞකාව සුවිශේෂි වනවා. නෞකාව මැයි මස 08 වැනිදා ත්‍රිකුණාමල වරාය වෙත ලගා විමට නියමිතයි.

Share