මෙරට දේවස්ථාන රැසක දේව මෙහෙයන්

මෙරට දේවස්ථාන රැසක කිතුණු බැතිමතුන් ඊයේ රාත්‍රී මෙන්ම අද උදෑසනත් පාස්කු දේව මෙහෙයන් හා සම්බන්ධ වුණා.
පාස්කු ඉරිදා වෙනුවෙන් පැවැත්වෙන දිව්‍ය පූජා සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් ක්‍රියාත්මක කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබුණු අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදාව ද කැඳවා තිබුණා.
මේ අතර පාස්කු දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි දැක්වෙන පරිදි හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ උතුම් ගුණයෙන් පුරවාලමින් සියලු භේද දුරලා එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස ඉදිරියට ගමන් කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස සියලු ජනතාවට ආරාධනා කරනවා.

කිසිදු අඳුරු රාත්‍රියක් ස්ථිර නොවන බවත්, සෑම අභියෝගයකටම පසු බලාපොරොත්තුවේ අරුණෝදය උදාවන බවත් පාස්කු පණිවුඩය අපට සිහිපත් කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පාස්කු දිනයට සුබ පැතුම් එක්කරමින් පවසනවා.
අග්‍රමාත්‍යවරිය පවසන්නේ එය ජීවිතය අලුතින් ආරම්භ කිරීමටත්, අත් නොහරින අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යාමටත් අපව දිරිමත් කරන බවයි.
අපගේ අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා සියලු ජාති, ආගම් සහ ප්‍රජා එක්සත් කරමින්, විශ්වාසය හා සාමය මත පදනම් වූ ශක්තිමත් රාජ්‍යයක් සහ සමාජයක් නිර්මාණය කර ගැනීම අපගේ වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පාස්කු සුබ පැතුමෙන් සිහිපත් කරනවා.

Share