මිහින්තලේ අලියාට ගිනි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මිහින්තලේ, සීප්පුකුලම, අඹගහවෙල ප්‍රදේශයේදී වනඅලියෙකු ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු එළැඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සඳුනි හපුආරච්චි මෙනෙවිය නියෝග කළා. ඒ වනඅලියාට ගිනි තබා පීඩා සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් පසු එම ක්‍රියාව දැඩිව විවේචනය කරමින්, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට සත්ත්ව සංවිධාන ඇතුළු පාර්ශව රැසක් ඉල්ලා සිටි පසුබිමක් හමුවේයි. රෝගී තත්ත්වයෙන් ඔත්පලව බිම ඇද වැටී සිටි වනඅලියෙකුට ගිනි තබා, එම සත්වයා හිංසාවට ලක්කරන ආකාරය දැක්වෙන දර්ශන පෙලක් පසුගිය 16 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා,
ඒ මිහින්තලය, සිප්පුකුලම, අඹගහවෙල ප්‍රදේශයේදී.

පසුව දැඩි පිළිස්සුම් තුවාල ලබා සිටි වන අලියා එම ප්‍රදේශයේම නිවසක් පිටුපස වැටී සිටියදී වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලැබුවා.
වනඅලියා මියගොස් ඇත්තේ ඒ අතරතුරයි.
ඉන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ දැඩි විවේචන එල්ල වූ අතර විවිධ සත්ව සංවිධානවල නියෝජිතයින් ඊට පෙරමුණ ගත්තා.
ඒ අනුව වනඅලියාට ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මිහින්තලේ පොලිසිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තා.
ඔවුන් එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 42, 48 හා 50 වයස්වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අද ඉදිරිපත් කෙරුණේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයටයි.
එහිදී අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සඳුනි හපුආරච්චි මෙනවිය විසින් නියෝග කලේ අදාළ සැකකරුවන් තිදෙනා එළඹෙන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
ඇප කොන්දේසි මත සැකකරුවන් තිදෙනා මුදා හරින ලෙසට ඔවුන්ගේ නීතිඥ වරුන් සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කල අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලීසිය ට නියෝග කළේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් ඇත්නම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.
මේ අතර මියගිය වනඅලියාගේ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණ වී ඇත්තේ, වකුගඩු හා අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වය මෙන්ම පිළිස්සීමෙන් භීතියට පත්වීම යන කරුණු හේතුවෙන් මෙම සත්වයාගේ මරණය සිදුව ඇති බවයි.

Share