මිනාබ් ප්‍රහාරයට වගකිවයුත්තෝ

ඉරානයට එරෙහිව ඇරඹූ යුද්ධය පස්වෙනි සතියට එළැඹෙද්දී ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ දේශපාලන සහ මිලිටරි නායකයින්ගේ පෞද්ගලික නිවාස ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවනවා. ඉරානයේ ඒකාබද්ධ හමුදා අණදෙන මූලස්ථානයේ ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆකාරි ඉරාන රාජ්‍ය රූපවාහිනියට අදහස් දක්වමින් සඳහන් කළේ, ඉරානයේ සිවිල් වැසියන්ගේ නිවාස ඉලක්ක කර එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බවයි.

එක්සත් ජනපද සහ ඊශ්‍රායල් මිලිටරි නායකයින් ඝාතනය කරන බවට අනතුරු අඟවන ඉරානය, ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයකින් තම විප්ලවවාදී ආරක්ෂක බලකායේ නාවික හමුදාපති අලිරේසා ටැංසිරි මිය ගිය බව ද අද තහවුරු කර තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඔහු මිය ගිය බව ඊයේ වාර්තා වුණා.
මේ අතර ඉරානය එක්සත් ජනපද සහ ඊශ්‍රායල් මිලිටරි නායකයින් ඉලක්ක කරන බවට කරන ප්‍රකාශයට සමාන්තරව පෙබරවාරි 28 වැනිදා ප්‍රහාර ඇරඹූ පළමු දිනයේ ඉරානයේ මිනාබ්හි බාලිකා පාසලට එල්ල කළ ප්‍රහාරයේ වගකිව යුත්තන්ගේ ඡායාරූප ද ප්‍රසිද්ධ කර තිබෙනවා.
ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ නයිජීරියාව යන රටවල ඉරාන තානාපති කාර්යාල ඊයේ එම වගකිවයුතු නිලධාරීන්ගේ ඡායාරූප නිකුත් කර ඇති අතර එක්සත් ජනපද නාවික අණදෙන නිලධාරි ලී. ආර්. ටේට් සහ නාවික විධායක නිලධාරි ජෙෆ්රි ඊ යෝර්ක් ලෙස ඔවුන් නම්කර තිබෙනවා.

මෙම නිලධාරීන් දෙදෙනා ටොමාහෝක් මිසයිල දියත් කිරීමට අවස්ථා තුනකදී සිය භටයින්ට අවසර දුන් බවටයි චෝදනා එල්ල කර ඇත්තේ.

යුද්ධයේ දේශ සීමා තවදුරටත් පුළුල් කෙරෙමින් ඉරාක දේශසීමාව අසල පිහිටි සිය කඳවුරුවලට ‘මහා පරිමාණ’ ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල වූ බව සිරියානු හමුදාව වාර්තා කරනවා

මේ වනවිට සිරියාව එක්සත් ජනපදය සමග සහයෝගිතා වැඩපිළිවෙළක සිටින නමුත් මැද පෙරදිග යුද්ධය ආරම්භ වීමෙන් පසු සිරියානු කඳවුරුවලට එල්ලවූ පළමු මහා පරිමාණ මෙයයි.

ඒ් සමගම ඉරානය කුවේට්හි පිහිටි මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීමේ කම්හලකට එල්ල කළ ප්‍රහාරයකින් එහි සිටි ඉන්දියානු සේවකයෙකු මියගාස් තිබුණා.
ප්‍රහාරයෙන් අදාළ ගොඩනැගිල්ලට සැලකිය යුතු හානියක් සිදු වුව ද ජල පිරිපහදුවේ කටයුතු අඩාල වී නැතැයි කුවේට් බලධාරීන් සඳහන් කළා.

කෙසේ නමුත් ඉරාන හමුදාව චෝදනා කළේ කම්හලට පහර දී ඇත්තේ ඊශ්‍රායලය බවයි.

ලෙබනනයට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාර පුළුල් කිරීමට අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබෙනවා.
දැනටමත් දහස් ගණනක් ඊශ්‍රායල් හමුදා භටයන් ලෙබනනයේ රැඳී සිටින අතර, ඊශ්‍රායල් ලෙබනන් දේශසීමාවේ සිට කිලෝමීටර් 30 ක් උතුරින් ලිටානි ගඟ දක්වා විහිදෙන භූමි ප්‍රදේශයක් ආරක්ෂක කලාපයක් ලෙස ඊශ්‍රායලය අත්පත් කරගෙන සිටිනවා.

එම ආරක්ෂක කලාපය පුළුල් කිරීමේ සැලැස්ම ක්‍රියාවට නංවමින් අද පෙරවරුවේ ඊශ්‍රායල හමුදා දකුණු බේරූට් හි හිස්බුල්ලා ඉලක්ක ගණනාවකට ප්‍රහාර එල්ල කළා.

ඉරානය සහ ඊශ්‍රායලය මේ ආකාරයෙන් යුද සැලසුම් පුළුල් කරමින් සිටියදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානය සාකච්ඡාවලට ගෞරව කරමින් තෙල් නැව් නැව් 20 ක් නිදහස් කර ඇති බවයි.
ඉරිදා රාත්‍රියේ එයාර් ෆෝස් වන් යානයේ සිට මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

“ඔබ දන්නා පරිදි, ඔවුන් දින දෙකකට පෙර බෝට්ටු අටක් එවීමට එකඟ වූණා. පසුව තවත් බෝට්ටු දෙකක් එකතු කළා.
ඉතින්, එතැන බෝට්ටු 10ක්. ඉතින්, අද ඔවුන් අපට උපහාරයක් ලෙස ලබා දුන්නා… මම දන්නේ නැහැ, මට එය හරියටම විස්තර කරන්න බැහැ…
මම හිතන්නේ ගෞරවයේ සලකුණක් ලෙස, තෙල් බෝට්ටු 20ක්, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යන විශාල, විශාල තෙල් බෝට්ටු.
එය හෙට උදෑසන සිට ඉදිරි දින කිහිපය තුළ සිදුවේවි.
සාකච්ඡාවලදී අපි ඉතා හොඳින් කටයුතු කරන බව පමණක් මම කියන්නම්

කෙසේ නමුත් සඳහන් කර තිබුණේ හෝමූස් හරහා නිදහස්ව පැමිණි තෙල් රැගත් යාත්‍රා පකිස්ථානයට අයත් ඒවා බවයි.

මේ අතර මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා යුද වදින පාර්ශ්ව අතර සාකච්ඡා සඳහා පහසුකම් සැපයීමට ඉදිරිපත්ව සිටින පාකිස්තානය අද ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබුණා.
ඒ් ඉරානයේ පිහිටි පාකිස්තාන තානාපති කාර්යාලය අසල සිදුවූ පිපිරීමක් මුල් කරගනිමින්.
රජයට අනුබද්ධ පාකිස්තාන උපායමාර්ගික සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉරානයේ හෝ වෙනත් තැනක ඊශ්‍රායලයෙන් තම රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සිදුවන ඕනෑම හානියක් සඳහා දැඩි ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි.
ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධයේ ආතතීන් උත්සන්න වීමත් සමඟ අද වෙළෙඳපොළ ගනුදෙන් ආරම්භ වීමත් සමග තෙල් මිල සති දෙකකට ආසන්න කාලයේ ඉහළම මිල මට්ටම් කරා පැමිණියා.
ඒ් අනුව අද දවස තුළ ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 3 කට වඩා ඉහළ ගොස් ඩොලර් 116 ඉක්මවා ගියා.
යුද්ධය හේතුවෙන් ඉහළ යන බලශක්ති මිල ගණන් හමුවේ පීඩාවට පත් ලොව පුරා රටවල් අතරට එක්වෙමින්, ඊජිප්තුව එරට සාප්පු, අවන්හල් සහ කැෆේ කලින් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ් අනුව සෙනසුරාදා සිට ලබන මාසය සඳහා සෑම රාත්‍රියකම සිල්ලර අලෙවිසැල් හා භෝජන පරිශ්‍ර රාත්‍රී 7.00 වන විට වසා දැමෙනු ඇති.
ඊජිප්තු රජය විසින් හඳුන්වා දී ඇති “සුවිශේෂී පියවර” අතරට වීදි ලාම්පු සහ මාර්ග දෙපස වෙළඳ දැන්වීම් අඳුරු කිරීම ද ඇතුළත් බව සඳහන්.

Share