මිතුරුකමක තරම

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා X හි මෙම හමුව හඳුන්වා තිබුණේ වටිනා අසල්වැසියෙකු සමග මිතුරුකම් ශක්තිමත් කරගැනීමක් ලෙසයි.

නවදිල්ලියේ පැවැත්වෙන AI ඉම්පැක්ට් 2026 ජාත්‍යන්තර සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික හමුවක් අද පැවැත්වුණේ හයිද්‍රාබාද් හවුස් හිදී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉතා මිත්‍රශීලිව පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම ආරාධනය පිළිගෙන AI Impact 2026 සමුළුවට සහභාගි වීම පිළිබඳ ස්තූතිය පළ කරමින් සුහද කතා බහක නිරත වන වුණා.

අනතුරුව නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූ අතර ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳ නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලංකාවට ලබා දුන් සුවිශේෂී සහය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය කෘතඥතාවද පළ කර තිබෙනවා.

X සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ මෑත කාලයේ ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතාවල කැපීපෙනෙන ප්‍රගතිය පිළිබඳ සමාලෝචනය කළ බවයි.

එමෙන්ම බලශක්තිය, සම්බන්ධතාවය, යටිතල පහසුකම්, සෞඛ්‍ය සේවා, කුසලතා සංවර්ධනය , සංස්කෘතිය, නිල් ආර්ථිකය සහ තවත් බොහෝ ක්ෂේත්‍රවල සහයෝගීතාව ඇති කර ගත හැකි අයුරු සාකච්ඡා කෙරුණු බව නරේන්ද්‍ර මෝදිගේ X සටහනේ දැක්වුණා.

Share