මැදපෙරදිග පවතින ගැටුම හේතුවෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට කඩිනම් සහයෝගය ලබාදෙයි

මැදපෙරදිග පවතින ගැටුම හේතුවෙන් ඇති වූ ඉන්ධන සැපයුම් බාධාවන් විසඳීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට කඩිනම් සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘතඥතාව පල කර තිබෙනවා.
දෙරටේ රාජ්‍ය නායකයින් අතර පැවති දුරකතන සංවාදයකින් පසුව ඉන්ධන මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් නෞකාවක් ඊයේ කොළඹට පැමිණි බව ජනාධිපතිවරයා X හි සටහනක් තබමින් පවසනවා.‍
කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ යෑම සහ මැදපෙරදිග යුද වාතවරණය තුළ සැපයුම් දාම අවහිර වීම හේතුවෙන් රට තුළ බොහෝ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑමේ අවදානමක් ඇතිව ති‌බෙනවා.

මාසයකට වැඩි කාලයක් පුරා පවතින මැදපෙරදිග ගැටුම්කාරී වාතවරණය හේතුවෙන් ලොව පුරා බලශක්ති අර්බුදයක් සහ සැපයුම් දාම බිඳ වැටීම් හේතුවෙන් නිෂ්පාදන ගැටලු රැසක් උද්ගතව තිබෙනවා.
එහි බලපෑම ශ්‍රී ලංකාවට පළමුව දැනුනේ මෑත ඉතිහාසයේ තියුණුම ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන්.
එහි ප්‍රතිඵලයක් ලෙස ක්ෂේත්‍ර රැසකම ගැටලු ඇති වී තිබෙනවා.
එහි බලපෑමට දෙවරක් ගොදුරුවන්නට සිදුව ඇතැයි එළවලු ගොවීන් පවසනවා.
අස්වනු වෙළෙඳපොළට ප්‍රවාහනය කිරීමේ වියදම ද දෙගුණ වී ඇති අතර ඉන්ධන මිල හේතුවෙන් ගැණුම්කරුවන්ගේ පැමිණීමේ අඩුවක් සම්බන්ධයෙන් ද ඔවුන් මැසිවිලි නගනවා.

කුකුලු මස් හා බිත්තර මිල ඉහළ යෑමේ අවදානමක් ඇත්තේ සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණවත්ව නොලැබීම සහ එහි මිල ඉහළ යෑමයි.

අජිත් ගුණසේකර – සභාපති – සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය
මේ අතර උත්සව සමයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා ආහාර ද්‍රව්‍ය තොග සඟවාගෙන සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කිරුළපන පොදු වෙළෙඳ සංකීර්ණයේ අද වැටලීමක් සිදු කෙරුණා.

මේ අතර වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහත්වරුන් අතර පැවති සාකච්ඡාවක දී මෙරට වෙළෙඳපොළේ සම්බා වැනි විශේෂිත සහල් වර්ග හිඟ වීම සහ ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා
වෙළෙඳ අමාත්‍යවරවා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජයට සහල් මෙට්‍රික් ටොන් 300,000ක් පමණ කළමනාකරණය කර ගැනීමට හැකිනම් අනිවාර්යයෙන්ම මිල පාලනය කළ හැකි බවයි.
ඉන්දියාවේ ගොවින්ගේ ආදායම සුරක්ෂිත කිරීම සඳහා ඉන්දීය රජය විසින් නියම කරන ලද අවම සහතික මිලක් යටතේ වී මිලදී ගැනීම් සිදුකෙරෙන බව ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී පෙන්වාදී තිබෙනවා.
එරට අත්‍යවශ්‍ය භාණ්ඩ පනතේ බලතල යොදාගෙන අසීමිත තොග රැස් කිරීම් රජය විසින් වළක්වා ඇති බවත් සදහන් කෙරුණා.
එමෙන්ම ඉන්දියාවේ FCI හෙවත් ෆුඩ් කෝපරේෂන් ඔෆ් ඉන්දියා නම් ආයතනය සතුව පවතින දැවැන්ත ගබඩා පද්ධතිය සම්බන්ධයෙන් ද මහ කොමසාරිස්වරයා විසින් මෙහිදී වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දැනුවත් කරනු ලැබුවා.
ඉන්දියාවේ මෙම පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තාක්ෂණික දැනුම හා පුහුණුව ලබාදිය හැකි බව ද ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසූ බව වෙළෙඳ අමාත්‍යංශය නිවේදනය කළා.
මේ අතර අද දහවල් 1.30ට පමණ ඉන්ධන තොගයක් රැගත් හරි අනන්ඩ් (HARI ANAND) ඉන්දීය නෞකාව කොළඹ වරායේ ඩොල්පින් ජැටියට පැමිණි බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනය කළා.
එහි රැගෙන ආ ඉන්ධන කොළොන්නාව ඉන්ධන ගබඩා සංකීර්ණයට සම්ප්‍රේශණය කිරීම අරඹා ඇති අතර එම නෞකාවෙන් මෙරටට ගෙනෙන ලද මුළු ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3600 ක්.
එම තොගයේ ඩීසල් මෙට්‍රික් ටොන් 18000 ක් සහ ඔක්ටේන් 92 පෙට්ට්‍රල් මෙට්‍රික් ටොන් 18000 ක් අඩංගු බව ද අමාත්‍යංශය පැවසුවා.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග කළ දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙරටට පැමිණි ඉන්ධන නෞකාව සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

X සටහනක් තබමින් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත්තේ මැදපෙරදිග පවතින ගැටුම හේතුවෙන් ඇති වූ ඉන්ධන සැපයුම් බාධාවන් විසඳීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට කඩිනම් සහයෝගය ලබා දී ඇති බවයි.
මෙම කටයුත්තට පහසුකම් සැලසීම සඳහා සමීප සම්බන්ධීකරණය කළ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්ට ද ඔහු ස්තූතිය පුදකර තිබෙනවා.
මැදපෙරදිග යුද ගැටුම් මධ්‍යයේ ඉන්ධන සැපයුම් ස්ථාවරත්වය සම්බන්ධයෙන් ගැටලුවකට ද මුහුණ දී සිටින ශ්‍රී ලංකාව තත්ත්වය කළමනාකරණයට කඩිනම් පියවර ගත යුතු බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

Share