මහියංගනය නීතිවිරෝධී අයුරින් වැලි ජාවාරම් සිදුකරන පුද්ගලයින් සහ රජයේ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්

මහියංගනය – පඟරගම්මන, දඹගොල්ල ප්‍රදේශවල වැලි ගොඩදැමීම සඳහා බලපත්‍ර ලබාදීමට පෙර සිදුකරන ක්ෂේත්‍ර චාරිකාවකදී මහවැලි ගගේ නීතිවිරෝධී අයුරින් වැලි ජාවාරම් සිදුකරන පුද්ගලයින් සහ රජයේ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
මෙම ක්ෂේත්‍ර චාරිකාවට මධ්‍යම පරිසර අධිකාරිය , භූ විද්‍යා හා පතල් කැණීම් සමීක්ෂණ නිලධාරින්,මහියංගනය ‌පොලිසිය , සහ මහියංගනය ප්‍රාදේශීය ලේකම්වරයා ද එක්ව සිටියා.

මහියංගනය ප්‍රදේශයේ නීත්‍යානුකූල බලපත්‍ර නිකුත් කිරීමට පෙර මහියංගනය මහවැලි ගඟ අවට තොටුපල පරීක්ෂාවන් සදහා මධ්‍යම පරිසර අධිකාරිය , භූ විද්‍යා හා පතල් කැණීම් සමීක්ෂණ නිලධාරින්, මහියංගනය ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රජයේ නිලධාරින් ඊයේ සහ පෙරේදා දිනවලදී ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුණා
එහිදී ඔවුන් අනවසරයෙන් වැලි ජාවාරම් සිදුකරන ස්ථාන කිහිපයක් ද හඳුනා ගත්තා.
එහිදී රජයේ නිලධාරින් සහ වැලි ජාවාරම් සිදුකරන පුද්ගලයින් අතර ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

නීතිවිරෝධී වැලි ජාවාරම් හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන අතර මාර්ග පද්ධතියට ද මෙමගින් විශාල හානියක් සිදුවනවා.
දිට්වා සුළි කුණාටුවෙන් පසුව ඇති වූ ගංවතුර තත්ත්වයත් සමග ගංගාවල වැලි ප්‍රමාණය වැඩි වී තිබෙනවා.
මේ හේතුවෙන් මහවැලි ගඟට අවට පුද්ගලයින් බහුල ලෙස නීතිවිරෝධී කැණිම් සිදුකරන බව සඳහන්.
ජනවාරි මාසයේ සිට මේ දක්වා අනවසරයෙන් වැලි කැණීම් සිදුකළ පුද්ගලයින් 56 දෙනෙකු මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

Share