මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි

මෙරට වාමාංශික දේශපාලන ධාරාවේ කැපී පෙනෙන චරිතයක් වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 91 වැනි වියේ පසුවුණා.

මෙරට වාමාංශික ව්‍යාපාරයේ නායකයින් අතර කැපී පෙනෙන කාර්යභාරයක් සිදුකළ දේශපාලනඥයින් අතර තිස්ස විතාරණ මහතාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.
1934 වසරේ අගෝස්තු 30 වැනිදා නුවරඑළියේදී උපත ලැබූ මහාචාර්ය තිස්ස විතාරණ කොළඹ විශ්වවිද්‍යාලයේ මෙන්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් උපාධිධාරියෙක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු මෙන්ම ආණ්ඩුකාරවරයෙකු ලෙසද ඒ මහතා මෙරට දේශපාලන ව්‍යාපාරයේ අමතක නොවන සේවාවක නිරත වූවා.
ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ කැපී පෙනෙන කාර්යභාරයක් සිදුකළ තිස්ස විතාරණ මහතා කලක් ලංකා සම සමාජ පක්ෂයේ නායකයා ලෙස ද කටයුතු කළා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ මෙන්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අමාත්‍යධුර හෙබවූ තිස්ස විතාරණ මහතා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස විදාතා ආයතනය පිහිටුවීම ඇතුළු මෙරට තුළ විද්‍යාත්මක ප්‍රවේශයන් සහ දැනුම ප්‍රවර්ධනයට කළ මෙහෙය සුවිශේෂීයි.
ඔහු 2019 වසරේ උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද කටයුතු කළා.
කලක් රෝගාතුරව සිටි මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්තවන විට 91 වැනි වියේ පසුවුණා.
පවුලේ ඥාතීන් පැවසුවේ ‍පිටකෝට්ටේ පිහිටි ඔහුගේ නිවසේ දී අද පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බවයි.
අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරය පසුව දැනුම් දෙනු ඇති.

Share