ඓතිහාසික මහනුවර නගරය සහ ලෝක උරුමයක් ලෙස සැලකෙන ගාලු කොටුව මානව ක්රියාකාරකම් හේතුවෙන් මේ වන විට ජරාවාස වෙමින් පවතින බවට ප්රදේශවාසීන් පවසනවා.
මේ පිළිබඳ කොතෙක් දැනුවත් කළද බලධාරීන්ගේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බව ඔවුන් පෙන්වා දෙනවා. මහනුවර ප්රධාන බස් නැවතුම්පොළට දෛනිකව දෙස් විදෙස් ලක්ෂ ගණනක් පැමිණෙනවා.
නමුත් එය රාත්රියේ දී යාචකයන්ගේ නවාතැනක් බවට පත්ව ඇතැයි ජනතාව චෝදනා කරනවා.
එහි බරපතළම ගැටලුව වන්නේ ඔවුන් විසින් බස් නැවතුම්පොළ අවට පරිසරයද අපිරිසිදු කිරීමයි .
බලධාරීන් දැනුවත් කළද ඊට නිසි විසඳුම් මෙතෙක් ලැබී නොමැති බව ප්රදේශවාසීන් පවසනවා.
මේ අතර ඓතිහාසික ලෝක උරුමයක් වන ගාලු කොටු බැම්ම ආශ්රිතව අක්රමවත් ලෙස කසළ බැහැර කිරීම සහ එම කසළ නිසි පරිදි ඉවත් නොකිරීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.
ගාලුකොටුව තුළ ස්ථාන කීපයක කසළ බඳුන් තබා තිබුණද ඇතමුන් මෙලෙස අක්රමවත් ලෙස කසළ බැහැර කර ඇති අයුරු දක්නට ලැබුණා.
මේ පිළිබඳ සොයා බලා වහාම ඊට විසඳුමක් ලබාදෙන ලෙස සංචාරක මාර්ගෝපදේශකයන් මෙන්ම ප්රදේශවාසීන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර ගම්පොළ බස් නැවතුම්පොළ ආශ්රිතව ඇති වෙළෙඳ සැල් අවට කසළ ගොඩගැසීම හේතුවෙන් ගම්පොළ නගරයට පැමිණෙන ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.





