මහනුවර ගලහ ප්‍රදේශයේ කෝවිල් භූමියකින් සොයාගත් පාෂාණය ලැබ්‍රඩෝරයිට් වර්ගයේ පාෂාණයක්

මහනුවර ගලහ ප්‍රදේශයේ කෝවිල් භූමියකින් සොයාගත් පාෂාණය ලැබ්‍රඩෝරයිට් වර්ගයේ පාෂාණයක් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. අධිකාරිය නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්⁣නේ එහි ඉහළ වාණිජ හෝ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති බවයි. ගලහ ගල්ලන්තැන්න පහළ කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිළ ආසන්නයේ නායගිය ස්ථානයකින් විශාල නිල් පැහැති පාෂණයක් මතුව තිබුණා. ප්‍රදේශවාසීන් පැවසූවේ පසුගියදා සිදු නායයෑමත් සමග මෙම පාෂාණය මතු වී ඇති බවයි. මැණික් ගලක් බවට වන විශ්වාසය සමග බොහෝ පිරිසක් එය නැරඹීමටද පැමිණියා. මෙම පාෂාණය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය වාර්තා කළේ මෙම පාෂාණය තවත් පාෂාණයක් තුළ තැන්පත් වූ ලැබ්‍රඩෝරයිට් මාදිලියේ කුඩා ප්‍රමාණයක ගලක් බවයි. මෙම පාෂාණය සඳකැන් පාෂාණවලට ඉතා සමීප නෑකමක් දක්වන, ෆෙල්ඩ්ස්පාර් ඛනිජ පවුලටම අයත් වනවා. ලැබ්‍රඩෝරයිට් යනු එහි ඇති සුවිශේෂී වර්ණ රටාව නිසා ලොව පුරා ප්‍රසිද්ධ පාෂාණයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ පාෂාණය දෙස බලන කෝණය අනුව එහි වර්ණය වෙනස් වීමයි. මෙය මැණික් කර්මාන්තයේදී ආභරණ නිපදවීමට යොදාගන්නා අර්ධ වටිනා ගල් වර්ගයක්.

Share