මහනුවරට සහ නුවරඑළියට නාය යෑමේ රතු නිවේදන

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් දෙවන සහ තෙවන අදියරේ නායයෑම් පිලිබදව නිවේදනය දිර්ග කර තිබෙනවා.
ඒ අනුව නායයෑම් පිළිබඳ අවවාදත්තමක දෙවන අදියර නිවේදනය බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල, හාලි ඇල, බදුල්ල, පස්සර සහ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලේ, පන්විල, තුම්පනේ, උඩපලාත, ගඟඉහල කොරළය, පාතදුම්බර, අකුරණ, දෙල්තොට, කුණ්ඩසාලේ, උඩුනුවර, පූජාපිටිය, හාරිස්පත්තුව, ගඟවට කොරළය, හතරලියද්ද, පාතහේවාහැට, යටිනුවර, යන ප්‍රදේශ වලට බල පැවැත්වෙනවා.
ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ මාතලේ දිස්ත්‍රික්කයේ
මාතලේ, පල්ලෙපොල, උකුවෙල, අඹන්ගඟ කෝරගේ, විල්ගමුව, නාඋල, රත්තොට, ලග්ගල, පල්ලෙගම, යටවත්ත මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළියට ද මෙම නිවේදනය බල පැවැත්වෙනවා.
මේ අතර නායයෑම් පිළිබඳ අවවාදත්තමක තුන්වන අදියර නිවේදනය මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, දොළුව, උඩුදුම්බර, මිනිපේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ,නිල්දණ්ඩොහින්න , වලපනේ, මතුරට බල පැවැත්වෙන බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. මේ අතර පස් කණ්ඩි කඩාවැටීම් ඇතුළු සිදුවීම් නිසා බදුල්ල, මාතලේ, කිලිනොච්චිය, කෑගල්ල, අනුරාධපුරයේ මාර්ගවල ඇතැම් ස්ථාන සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

මේ අතර අදත් නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර උඩදුම්බර ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ ලියන්ගොල්ල ප්‍රදේශයේ පවතින නාය යෑමේ අවදානම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් පහක ජනතාව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොණ්ඩුවටුවාන ජලාශය වාන් දමා තිබෙනවා
මේ හේතුවෙන් අම්පාර ඉඟිනියාගල මාර්ගයේ කොණ්ඩුවටුවාන ප්‍රදේශයෙන් ගමනාගමනයට සුළු බාධා මතුවී ඇති අතර කොණ්ඩුවටුවාන සහ අවට ප්‍රදේශවල කුඹුරු රැසක් ජලයෙන් යට ව තිබෙනවා.

මේ අතර තාවකාලික වැලි කොට්ට දමා ආරක්ෂා කල හලාවත – තිඹිල්ල වැව් බැම්ම නැවත බිදී යාමේ අවදානමක් මතුවී ඇති බව ගොවීන් පවසනවා
අක්කර 400 ක් පමණ විශාල තිඹිල්ල වැවේ ජලය භාවිතා කරමින් කඹුරු අක්කර 250 ක් පමණ වගා කෙරෙනවා
වැව් බැම්මේ අඩි 50 ක පමණ ප්‍රමාණයක් පසුගිය ගංවතුර අවස්ථාවේ බිදී ගොස් තිබුනු අතර යම් හෙයකින් නැවත වරක් මෙම වැව් බැම්ම බිදී ගිය හොත් හලාවත නගරය නැවත ජලයෙන් යට වන බවයි ගොවීන් පවසන්නේ.

පසුගිය දා ඇති වූ අයහපත් කාලගුණික තත්වයත් සමගින් පස්සර ලුණුගල මාර්ගයේ 19 කණුව ප්‍රදේශයෙන් මාර්ගය ගිලා බැසීමට ලක්ව තිබුණා.
ඒ හේතුවෙන් දින ගණනාවක් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ලවුණා
මේ වන විට එම ගිලා බැසුණු ස්ථානයට යාබද ප්‍රදේශයෙන් කොටසක් මාර්ගයට ගෙන එයින් වාහන ගමනා ගමනය පහසුවන සේ මාර්ගය සකසා තිබෙනවා. එමෙන්ම එම මාර්ගයේම 20 කණුව ප්‍රදේශයට කඩා වැටී තිබුණු විශාල පස් කන්ද හේතුවෙන් අවහිර වූ ස්ථානය පිළිසකර කිරීමද ඊයේ සිදු කළා.

මේ අතර මහවැලි ගංගා ද්‍රෝණියේ පිටාර ජලයෙන් ඓතිහාසික සෝමාවතී පුදබිම තුල අඩි 2ක් පමණ ජලය යට වී තිබෙනවා. එසේම සුංගාවිල සිට සෝමාවතිය මාර්ගය අඩි තුනහමාරකින් පමණ ජලයෙන් යට වී ඇති අතර මේ වන විට එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබෙනවා

Share