මනම්පිටිය ප්‍රදේශයෙන් මහවැලි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළ යමින් පවතිනවා

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පෙරවරු 8.30ට නිවේදනය කළේ මනම්පිටිය ප්‍රදේශයෙන් මහවැලි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළ යමින් ඇති බවයි.
කෙසේ වෙතත් මහවැලි ගඟ ද්‍රෝණියේ කින්නියා, මුතූර්, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව හා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් මහවැලි ගඟ ආසන්නයේ පහත් බිම් ප්‍රදේශවලට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉදිරි පැය 24ක කාලයක් සදහා ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරුණා.

මඩකලපුව – පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රජමහා විහාර පිවිසුම් මාර්ගයද, සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශයටද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් ඇති බැවින් ඉදිරි දින කිහිපය පසුවන තෙක් සෝමාවතී රජ මහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන් ද, එසේම එම ප්‍රදේශ වල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ මාවනැල්ල මහන්තේගම හරහා ගම්පල මාර්ගය ජලයෙන් යටවුණා
මහනුවර දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඇතැම් ස්ථාන නායයෑමේ අවදානමට ලක්ව ඇතැයි අප වාර්තාකරුවන් පැවසුවා.
පේරාදෙණිය හල්ඔලුව හරහා කටුගස්තොට මාර්ගය හරහාද අනතුරුදායක ලෙස අධික ජල ධාරාවක් ගලා යමින් පවතිනවා
අධික වර්ෂාවත් සමග හල්ඔලුව ප්‍රදේශයේ පැරණි නාය ගිය ස්ථානයක් නැවත සක්‍රියවී මාර්ගයට ගල් හා පස් පෙරලි තිබෙනවා.
ඒ අනුව ඊයේ රාත්‍රී මෙම මාර්ගයේ රථවාහන ධාවනය නතර කෙරුණා.
අද පෙරවරුවේ මාර්ගයට කඩා වැටී තිබූ පස් හා ගල් එම ස්ථානයෙන් ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගත්තා.
මේ අඛණ්ඩව ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නොතකා දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ඊයේ ශ්‍රී පාද වන්දනාවට එක්ව සිටියා.
මේ අතර, පවතින වර්ෂා සහිත කාලගුණයත් සමඟ මහනුවර, මාතලේ, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
මෙම නිවේදනයට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, ගඟ ඉහළ කෝරලේ, දොලුව සහ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවලට මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට සහ අරණායක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට තෙවන අදියරේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
ඊ‍ට අමතරව, තෙවන අදියරේ රතු නිවේදන නිකුත් කර ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම, අඹන්ගඟ කෝරලේ, උකුවෙල, විල්ගමුව සහ රත්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.

Share