විෂ මත්ද්‍රවය භාවිත කර පෞද්ගලික මගී බස් රථවල සේවයේ යෙදෙමින් සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත් දෙනකු පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් මෙරටට රැගෙන ආ වියළා, වර්ණ ගන්වා සකස්කරන ලද සත්ත්ව හම් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැණුනා.
වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් මෙරටට රුගෙන ආ වියළා, වර්ණ ගන්වා සකස්කරන ලද සත්ත්ව හම් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
කිඹුලන්, පිඹුරන්, වෙනත් උරගයින් ඇතුලු සත්ත්වයින්ගේ හම් කොටස් 19ක් මෙහිදී සොයා ගනු ලැබුවා.
සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු මෙම සත්ත්ව හම් තොගය මිලදී ගෙන ඇත්තේ තායිලන්තයේ බැංකොක් නගරයෙන්.
මේ අතර විෂ මත්ද්‍රව‍්‍ය භාවිත කර තිබේ දැයි හඳුනා ගැනීම සඳහා පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ වන සහ පිළියන්දල නගරය හරහා ධාවනය වන පුද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් පරික්ෂා කිරීමේ මෙහෙයුමක් ඊයේ දියත් කෙරුණා.
නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පිළියන්දල පොලිසිය ඒකාබද්ධව පුරා පැය පහකට ආසන්න කාලයක් පරික්ෂා කිරීම් සිදුකළා.
පොලිසිය පැවසුවේ එහිදී බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 170 පරීක්ෂාවට ලක් කළ බවයි.
ශරීරයේ විෂ මත්ද්‍රව‍්‍ය අඩංගු වී ඇති බව තහවුරු වීමෙන් පසුව අත්අඩංගුවට ගත් 7 දෙනෙක් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.
මේ අතර අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රත්මලාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් රැඳවුම් නියෝග මත කළ ප්‍රශ්න කිරිම්වල දී අනාවරණය වූ තොරතුරු මත ගල්කිස්ස පිරිවෙන පාර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එම නිවසේ තිබී ගිනි අවියක් ,ජීව පතොරමක්, ව්‍යාජ අංක තහඩු 30 ක්, අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 10 සහ මුදල් රුපියල් ලක්ෂ 8 සහ ඉලෙක්ට්‍රොනික තරාදියක් සොයා ගනු ලැබුවා.
ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර අනුරාධපුර, තිරප්පනේ වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත උට්ටිමඩුව, පල්ලංකුලම කහපත්විල ප්‍රදේශයේ කළ හදිසි වැටලීමකදී, බඩඉරිඟු වගාවක අටවා තිබූ බඳින කඳන් 20ක් සහ කේබල් මදු 120ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වනජීවී දෙපාර්තමේන්තු ඉතිහාසයේ එක් වගා භූමියකින් හමු වූ වැඩිම නීති විරෝධී ගිනිඅවි තොගය මෙයයි.





