බැක්ටීරියා විෂ සහිත ඔන්ඩැන්සෙට්‍රෝන් ඖෂධය නිසා සිදු වූ බවට සැක කෙරෙන රෝගී මරණ සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පැමිණිල්ල ගොනු කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසුවේ මෙරට සෞඛ්‍ය පද්ධතියේ කඩා වැටීම මින් පෙන්නුම් කරන බවයි.
වර්තමාන ඖෂධ නියාමන යාන්ත්‍රණය ඔස්සේ ද මෙසේ ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝගීන් වෙතට යෑමෙන් රෝගී ජීවිත අනතුරකට පත්ව ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.
ඔන්ඩන්සෙට්රෝන් නැමති ඖෂධ එන්නත ලබාදුන් රෝගියෙකුට සංකූලතා මතුවීමේ සිදුවීමක් පසුගිය දා මහනුවර ජාතික රෝහලෙන් වාර්තා වීමෙන් පසු අදාළ එන්නත පිළිබඳ කරන ලද රසායනාගාර පරීක්ෂණයකදී එම එන්නතේ විෂබීජ අඩංගු බව මුල්වරට අනාවරණය වී තිබුණා.
ඒ සමගම කොළඹ අයි ඩී එච් රෝහලට ප්‍රතිකාර ලැබීමට ඇතුළත් වූ ඩෙංගු රෝගීන් දෙදෙනෙකුගේ මරණයට ඔන්ඩන්සෙට්රෝන් නැමති ඖෂධයේ සම්බන්ධයක් ඇත්ද යන සැකයත් සමග මෙරට රජයේ රෝහල් තුළ පැවති අදාළ ඖෂධ එන්නත භාවිතයෙන් ඉවත් කරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය දා උපදෙස් නිකුත් කළා.
අදාළ ඖෂධය මෙරටට ආනයනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගමෙන් මෙරටට ගෙන්වූ තවත් ඖෂධ වර්ග 10ක් ද රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගත්තා.
අදාළ ඖෂධ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.
මේ අතර මෙම ඖෂධ මෙරට ඖෂධ නියාමන ක්‍රියාවලිය හරහා පැමිණ රෝහල් පද්ධතියට ලැබීම පිළිබඳ අපරාධ විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
මේ අතර මෙහිදී වෛද්‍ය චමල් සංජීව අනාවරණ කළේ පසුගිය දා කළුතර ගල්ලැස්ස මාතෘ රෝහලේදී ගර්භනී මවක් ද සිසේරියන් සැත්කම අතරතුර ලබා දෙන ලද ප්‍රතිජීවක ඖෂධයක් ආසාත්මික වීමෙන් මියගොස් ඇති බවයි.
කෙසේ නමුත් අප මෙම මාතෘ මරණය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් කළ විමසීමක දී එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ ඖෂධ අසාත්මික වීමකින් සිදුවූ මාතෘ මරණයක් සම්බනධයෙන් තමන්ට වාර්තා වී නොමැති බවයි.





