මඩකලපුව ඝාතනයේ තවත් සැකකරුවෙක්

මඩකලපුවේදී කාන්තාවකට නිර්වින්දන ඖෂධ ලබා දී, රන් ආභරණ කොල්ලකා ළිඳකට විසි කර මරා දැමූ කල්ලියට සම්බන්ධ තවත් සැකකරුවෙකු නැගෙනහිර පළාත් ප්‍රධාන අපරාධ වැළැක්වීමේ ඒකකයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අත් අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකු බවයි නැගෙනහිර පළාත් ප්‍රධාන අපරාධ වැළැක්වීමේ ඒකකය භාර නිලධාරීවරයා සඳහන් කළේ

ඊයේ රාත්‍රියේ, මඩකලපුව කන්ජිරම්කුඩාහි පිහිටි සැකකරුවන්ට අයත් නිවසක් වටලා එහි තිබී රෝහල් සැත්කම් සඳහා භාවිතා කරන නිර්වින්දන ඖෂධ අඩංගු බෝතල් සහ ආරක්ෂිතව ඔතා පොලිතින් බෑග්වල දමා තිබූ නිර්වින්දන පෙති තොගයක් ද පොලිසිය විසින් සොයා ගත්තා.
මෙම මෙහෙයුමේදී අත් අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකු බවයි පොලිසිය සඳහන් කලේ.
පසුගිය 20 වැනිදා වවුනතීව්හි කොතියවල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණ මවක් කොක්කඩිචෝලෙයි හි නෙල්ලිකට්ටු ප්‍රදේශයේ පාලු ලිදකට වැටී සිටියදී සොයා ගත්තා.
මෙහිදී කලින් අතුරුදහන් වූ බවට සැලකෙන තවත් කාන්තාවක ගේ මලසිරුරක් ද එම ළිඳේ තිබියදී සොයා ගැනුනා.
මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති වරුන ජයසුන්දරගේ මඟ පෙන්වීම යටතේ නැගෙනහිර පළාත් ප්‍රධාන අපරාධ ඒකකය විසින් පරීක්ෂණ සිදු කළා
එහිදී කාංචිරම්කුඩා ප්‍රදේශයේ 26 හැවිරිදි කාන්තාවක්, ඇගේ 34 හැවිරිදි සැමියා, ඇගේ 22 හැවිරිදි සහෝදරයා සහ සොරකම් කරන ලද රන් ආභරණ මිලදී ගත් ස්වර්ණාභරණ සාප්පු හිමියන් දෙදෙනෙකු මීට පෙර අත් අඩංගුවට ගත්තා.
මීට අමතරව ඔවුන් සතුව තිබූ ත්‍රීරොද රථ 2ක්, මෝටර් රථයක්, පොරවක් සහ තියුණු ආයුධ ද සොයා ගෙන තිබෙනවා
පොලිස් භාරයේ සිටි අයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙලිදරව් වූයේ සැකකරුවන්ගේ කන්ජිරම්කුඩා ප්‍රදේශයේ ඇති නිවසක් අසල භූමියේ නිර්වින්දන ද්‍රව්‍ය වළලා ඇති බවයි.
ඔවුන් මාස දෙකකට පෙර මෙම ත්‍රීරෝද රථ රියදුරාට එම නිර්වින්දන ඖෂධ ලබා දී ඇති බවත්, විශාල මුදලක් ගෙවා තවත් පුද්ගලයෙකුගෙන් මෙම නිර්වින්දන ඖෂධ මිලදී ගෙන ඇති බවත් අනාවරණය වුණා
අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා පසුගිය 22දා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී ඉන් රන් ආභරණ වෙළඳසැල්වල හිමිකරුවන් දෙදෙනා අද දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඝාතනයට සහ මංකොල්ලකෑමට සම්බන්ධ අනෙක් සැකකරුවන් තිදෙනා පැය 72 ක් පොලිස් භාරයේ තබා ප්‍රශ්න කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මෙම නඩුව අද මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නැවත විභාගයට ගැනීමට නියමිතයි.

Share