මඩකලපුවේ පුරාවිද්‍යා ස්මාරක සඳහා මඟ පෙන්වන නාමපුවරු ගැල වූ අයට නීතිමය පියවර

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක සඳහා මඟ පෙන්වන නාමපුවරු යම් පාර්ශවයන් විසින් ඉවත්කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්‍ය හිනිදුම සුනිල් සෙනවි පවසනවා.
ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා පවසන්නේ, ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවයි.
කිසියම් දේශපාලන කණ්ඩායමක් මේ පිටුපස සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කරනවා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පුරාවිද්‍යා ස්මාරක සඳහා මඟ පෙන්වන නාමපුවරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවිකර ඇති අතර, ඊයේ දිනයේ කිසියම් පිරිසක් විසින් එම ඇතැම් පුවරු ගලවා ඉවත්කරන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එම දර්ශනවලට අනුව අදාළ ස්ථානවල ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රදේශීය සභා සභාපතිවරයෙකු ඇතුළු පිරිසක් රැදී සිටිනවා.
මඩකලපුව, මන්මුනේ දකුණ, කෝරලේ පත්තුව, වාලච්චේන ඇතුළු ප්‍රදේශීය සභා බල ප්‍රදේශ කිහිපයක පුරාවිද්‍යා ස්ථාන නම් කර ඇති නාම පුවරු මෙසේ ගලවා ඉවත් කරගෙන යනු ලබනවා.
මෙසේ ඉවත් කරන නාමපුවරු අතර, තාන්දාමලෙයි නොහොත් රහත් ගල, තිකිලිවෙට්ටෙයි, පෙන්ඩුකල්චේනෙයි සොරාවෙලි, මුරුන්කන්තිව් යන ස්ථානවල නාමපුවරු ඇති බව වීඩියෝවෙ දැක්වෙනවා.
දුර්වර්ණ වී නොමැති ඒවා අලුත් නාම පුවරු බව ද දැකගත හැකියි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති අතර, වගකිවයුත්තන් කඩිනමින් නිතිය හමුවට පමුණුවන බව විෂය බාර ඇමතිවරයා පවසනවා.

Share