භාරත් මණ්ඩපම් හිදී සත්කාරකත්වය දරන 2026 AI Impact සමුළුව අද ආරම්භ වේ

ඉන්දියාව විසින් නවදිල්ලියේ භාරත් මණ්ඩපම් හිදී සත්කාරකත්වය දරන 2026 AI Impact සමුළුව අද ආරම්භ වුණා.
මෙම සමුලුව ලබන 20 වැනිදා දක්වා පැවැත්වෙනවා.
එහිදී, කෘතිම බුද්ධිය (AI) මගින් ඇතිවන රැකියා අර්බුදය, ළමා ආරක්ෂාව සහ සදාචාරාත්මක භාවිතය පිළිබඳව ලෝක අවධානය යොමු කිරීමට නියමිතයි.
මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ AI තාක්ෂණය මගින් සිදුවන සමාජීය හා පාරිසරික අවදානම් අවම කරමින්, ගෝලීය සහයෝගීතාව සඳහා පොදු මාර්ග සිතියමක් සකස් කිරීමයි.
විශේෂයෙන්ම මෑතකාලීනව මහත් ආන්දෝලනයකට තුඩු දුන් ‘Deepfakes’ සහ ළමුන් ඉලක්ක කර ගනිමින් නිර්මාණය වන හානිකර අන්තර්ගතයන් පාලනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.
පළමු වරට දකුණු ආසියාවේ පැවැත්වෙන මෙම සමුළුවට රටවල් 100 කට අධික සංඛ්‍යාවක සහභාගීත්වය අපේක්ෂා කරන අතර, ගෝලීය රාජ්‍ය නායකයින් 20 දෙනෙක්, විවිධ රටවලින් අමාත්‍යවරුන් 50 කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.
ඒ අනුව,ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සමුලුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියා.
ඊට අමතරව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙන්ම ස්පාඤ්ඤ, නෙදර්ලන්ත, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය ඇතුලු රටවල් ගණනාවක නායකයින් සමලුවට එක්වීමට නියමිතයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ ජාත්‍යන්තර සංවිධාන කිහිපයක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සමුළුව සඳහා එක්වනු ඇති.

Share