බැකෝ සමන්ගේ බිරිඳ ඊයේ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට

ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කිරීමේ සිද්ධියකට අදාළව බැකෝ සමන්ගේ බිරිඳ ඊයේ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

මේ අතර මාලදිවයින් මුහුදු සීමාවේදී පසුගියදා එරට ආරක්ෂක අංශ භාරයට ගත් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය අඩංගු බවට මාලදිවයින් පොලීසිය මේවනවිට නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

නීතිවිරෝධී ලෙස මාලදිවයින් මුහුදු සීමාවට ඇතුළු වූ ශ්‍රී ලාංකියයින් පස් දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් පසුගිය 7 වැනිදා එරට ජාතික ආරක්ෂක බලකායේ වෙරළාරක්ෂක නිලධාරීන් භාරයට ගෙන තිබුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් ජාතික ආරක්ෂක බලකාය සහ එරට පොලීසිය ඒකාබද්ධව මෙම වැටලීම කළා.

මාලදිවයින් පොලීසිය පවසන්නේ අදාළ යාත්‍රාව අවිශ්ක පුතා නැමැති ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් වන බවත් එහි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 355කට අධික ප්‍රමාණයක් ඇති බවයි.

අදාළ යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකුද අත්අඩංගුවට ගැණුනු අතර එම ධීවරයින් සහ යාත්‍රාව සම්බන්ධයෙන් මාලදිවයින් පොලීසිය තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.

ඊට අමතරව මාලදිවයින් අධිකරණය විසින් ලබාගත් වරෙන්තුවකට අනුව ධීවර යාත්‍රාව ඊයේ විශේෂ සෝදිසි කිරීමකටද ලක්කර තිබෙනවා.

එම යාත්‍රාවේ මලු 24ක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 58යි ග්‍රෑම් 600ක් සහ අයිස් කිලෝග්‍රෑම් 297යි ග්‍රෑම් 300ක්ද සොයා ගැණුනා.

මෙම මත්ද්‍රව්‍ය තොගය මාලදිවයින් මුහුදු සීමාවෙන් මෙතෙක් වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස වාර්තා වනවා.

මාලදිවයින් නීතීපතිවරයාගේ උපදෙස් මත අදාළ ධීවරයින්,යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිලධාරින් කණ්ඩායමක් මේ වනවිටත් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ බැකෝ සමන්ගේ බිරිඳ ඊයේ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ඒ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේයි.

බැකෝ සමන්ගේ බිරිඳ මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණේ වව්නියා ආගමන විගමන කාර්යාලය හරහා ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කිරීමක් සම්බන්ධයෙන් වන නඩු විභාගයකට අදාළවයි.

Share