ඉතුරු සල්ලි / මාරු සල්ලි ප්‍රශ්න විසඳෙයි

මගී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් මගින් අද සිට ගෙවීමේ හැකියාව ලැබී තිබෙනවා.

මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. බැංකු කාඩිපතින් මගී බස් රථ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ලබා දීමේ වැඩපිළිවෙළ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී නිල වශයෙන් ආරම්භ වුණා. ඊට සමගාමීව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් බත්තරමුල්ලේදීත්, ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මොණරාගල සහ බදුල්ලේදීන් මෙම වැඩසටහන ආරම්භ කෙරෙනවා

මෙම වැඩසටහන මෙහෙය වන්නේ ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්වයි .

මෙම වැඩසටහන සමඟ රජයේ බැංකු දෙකක් සහ පුද්ගලික බැංකු පහක් එක්ව සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා සඳහන් කළා.

මේ අතර රජයේ ඩිජිටල් කරන ප්‍රතිපත්තියට සමගාමීව බස්නාහිර පළාත තුළ ධාවනය වන බස් රථ සඳහා කාඩ්පත් මගින් මුදල් ගෙවා ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ වැඩසටහන අද පෙරවරුවේ තලංගම කොස්වත්තේදී ආරම්භ කෙරුණා.

Share