බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 107ක අතිවිශිෂ්ට ජයක්

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ සිම්බාබ්වේ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 107ක අතිවිශිෂ්ට ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා.
නව තරග වාර්තා රැසක් අලුත් කළ මෙම තරගය පැවැත්වුණේ මුම්බායී හී වන්කඩේ ක්‍රීඩාංගණයේදී.
මෙවර තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය විකාශය කිරීමේ අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් වෙතයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා, පළමුවෙන් පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.
කොදෙව් ඉණිමේ පළමු කඩුල්ල ලකුණු 17 දී බිඳ වැටුණත්, ඉන් අනතුරුව පිටියට පිවිසි ෂිම්රොන් හෙට්මියර් විසින් සිම්බාබ්වේ පන්දුයවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරක් දියත් කළා.
ඔහු පන්දු 34ක් තුළදී ලකුණු 85ක් රැස්කලේ හයේ පහර 7ක් සහ හතරේ පහර 7ක් එල්ල කරමින්.
ඔහුට අනගි සහයක් වූ රොව්මන් පවෙල් පන්දු 35කදී ලකුණු 59ක් ‍රැස්කළා.
ඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 122ක සබඳතාවක් ගොඩනැගුවේ පන්දු 52ක් තුළදීයි.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 254ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කලා.
මෙවර T20 තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව මෙයයි.
මීට අමතරව T20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා පොත් අතරට එක් වුණා.
මෙම ඉණිම දෙවැනි වන්නේ 2007 වසරේ පළමු t20 ලෝක කුසලාන තරගාවලියේදී කෙන්යාවට එරෙහිව ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 260ට පමණයි.
මෙම ඉණිම තුළදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පිතිකරුවන් හයේ පහර 19ක් එල්ල කර ඇති අතර එය එක් ඉනිමක දී කණ්ඩායමක් එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් ද වනවා.
ලකුණු 255ක අති දැවැන්ත ඉලක්ක‍යක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 4ක් තුළදී සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 147ක් පමණයි.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් තනි සටනක නියැලුණු බ්‍රැඩ් එවන්ස් පන්දු 21කින් ලකුණු 43ක් රැස් කළා
ඔහු හැරුණු විට වෙනත් කිසිදු පිතිකරුවකුට පිටියේ ස්ථාවර වීමට කොදෙව් පන්දු යවන්නන් ඉඩලබා දුන්නේ නැහැ.
පන්දු යැවීමේදී ගුඩකේෂ් මෝටී කඩුළු 4ක් සහ අකේල් හොසේන් කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා.
කොදෙව්වන් මෙම ජයත් සමග සුපිරි 8 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වුණේ ඉතා ඉහළ දල ලකුණු වේගයක් සමගයි.
ඒ අනුව යම් හෙයකින් දල ලකුණු වේගය මත අවසන් පූර්ව වටයේ සුදුසුකම් ලබන්නන් තෝරා ගැනීමට සිදු වුවහොත් ඉන්දියාව දැඩි අවදානමකට පත් වනු ඇතැයි ද ක්‍රිකට් විචාරකයින් මත පල කරනවා.
සුපිරි 8 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයේ පාකිස්තානය සහ එංගලන්තය අතර තවත් තීරණාත්මක තරගයක් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රී 7ට පැවැත්වෙනවා.
කණ්ඩායම් දෙකේම දෙවැනි තරගය මෙය වන අතර පළමු තරගයේ දී ශ්‍රී ලංකාව පරාජය කළ එංගලන්තය ප්‍රසාද ලකුණු දෙකක් ලබා සිටිනවා.
වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු නවසීලන්තය සමග තරගය වෙනුවෙන් පාකිස්තානයට එක් ලකුණක් හිමි වුණා.

Share