ලබන මාසයේ ආරම්භ වන t20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමේ බංග්ලාදේශයේ තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සලකා බැලීමට නියමිත බව ද හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
අදාළ වාර්තාවේ දැක්වෙන්නේ අයිසීසී ය මේ සම්බන්ධයෙන් ඉදිරි පැය 48 තුළ තීරණයක් ගනු ඇති බවයි.
ආරක්ෂක හේතූන් මත ලබන මාසයේ පැවැත්වෙන T20 ලෝක කුසලානය සඳහා ඉන්දියාවට නොයන බව බංග්ලාදේශය ක්‍රිකට් පාලන මණ්ඩලය ඊයේ නිල වශයෙන් නිවේදනය කළා.
බංග්ලාදේශය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ මූලික වටයේ තරග ඉන්දියාවෙන් පිටත දී පවත්වන ලෙසයි.
බංග්ලාදේශ කණ්ඩායමේ මූලික වටයේ බටහිර ඉන්දීය කොදෙව්, ඉතාලිය සහ එංගලන්තය සමග තරග කොල්කටා ඊඩ්න් ගාර්ඩ්න් හි දී සහ නේපාලය සමග තරගය මුම්බායි වන්කඩේ හි දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ වත්මන් ශූර ඉන්දියාව සම සත්කාරකත්වය දරන මෙවර t20 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 20 ක් එක්ව සිටිනවා.
තරගාවලිය පෙබරවාරි 07 වනදා ආරම්භ වීමට නියමිතයි.





