බංග්ලාදේශයේ තවත් හින්දු ජාතිකයෙකු පිරිසක් විසින් පහර දී ඝාතනය කර ඇත

දීපු චන්ද්‍ර දාස් ඝාතනයෙන් දින කිහිපයකට පසු, බංග්ලාදේශයේ තවත් හින්දු ජාතිකයෙකු පිරිසක් විසින් පහර දී ඝාතනය කර ඇති අතර, එය මුස්ලිම් ආධිපත්‍යය දරන රට තුළ සුළු ජාතීන්ගේ ආරක්ෂාව පිළිබඳ නව කනස්සල්ලක් මතු කර තිබෙනවා.
නවතම සිදුවීම බංග්ලාදේශයේ රාජ්බාරි දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එහිදී 29 හැවිරිදි අම්රිත් මොන්ඩල් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඝාතනය කරනු ලැබ ඇතැයි මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් එරට පොලිසිය පැවසුවේ විමර්ශනවලට අනුව, මෙම සිදුවීම කිසිදු ආකාරයකින් වාර්ගික ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ නොවන බව පැහැදිලි වන බවයි.
එය කප්පම් ගැනීම් සහ අපරාධ ක්‍රියාකාරකම් වලින් පැන නැගුණු ප්‍රචණ්ඩකාරී තත්වයකින් ඇති වුවක් බවයි පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
ඝාතනය හෙළා දකිමින්, අන්තර්කාලීන රජය පැවසුවේ “කිසිදු ආකාරයක නීති විරෝධී ක්‍රියාකාරකම්, සමූහ පහරදීම් හෝ ප්‍රචණ්ඩත්වයට සහාය නොදක්වන” බවයි.
මේ අතර දාස්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඩකා සහ බංග්ලාදේශයේ වෙනත් තැන්වල කර්මාන්තශාලා සේවකයින්, සිසුන් සහ අයිතිවාසිකම් කණ්ඩායම් විසින් පුළුල් විරෝධතා ඇති කළ අතර ඉන්දියාව ද ඒ පිළිබඳව සිය කනස්සල්ල පළ කර තිබුණා.
දාස්ගේ බාල වයස්කාර දරුවා මෙන්ම ඔහුගේ බිරිඳ සහ දෙමාපියන් ද රැකබලා ගන්නා බවයි අන්තර්කාලීන රජය පවසා ඇත්තේ.

Share