පොලිස් වාර්තා පුවතට අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ CIDයට කැඳවයි

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් කරන ලද පැමිණිල්ලක් මත අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන දැඩි විරෝධය පල කරනවා.

මේ අතර මහින්ද ඉලේපෙරුම මහතා තීරණය කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට නොයෑමටයි.

ඔහුට අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දී තිබුණා.

ග්‍රාම නිලධාරී සහතිකය ලබාගැනීම සඳහා පොලිස් ස්ථානවලට යන අයදුම්කරුවන්ට ගමේ මහජන ආරක්ෂක කමිටු ප්‍රධානීයාගෙන් සහතික ලබාගෙන එන ලෙසට පොලීසිය කරන දැනුම් දීමක් සම්බන්ධයෙන් පසුගිය 19 වැනිදා අරුණ පුවත්පත අනාවරණය කර තිබුණා.
එය අසත්‍ය පුවතක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ද සඳහන් කළා
එයින් නොනැවතුණු මහජන ආරක්ෂක අමාත්‍යවරයා අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද කර තිබෙනවා.
ඒ් අනුව අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාට අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දී තිබුණා.
කෙසේ නමුත් ඇතැම් පොලිස් ස්ථාන විසින් පොලිස් වාර්තා ලබාදීම සඳහා මහජන ආරක්ෂක කමිටු සභාපතිගේ සහතික ඉල්ලා සිටින අරුණ පුවත්පත පමණක් නොව සමාජ මාධ්‍ය ඔස්සේ ද මෙම ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්වූ පිරිස් විසින් ද අනාවරණය කර තිබුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පසුගිය දා මේ සම්බන්ධ සිද්ධි කිහිපයක් පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.
මේ අතර පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පුවත්පත් කතුවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බනධයෙන් ජනමාධ්‍ය සංවිානවල මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින්ගේ ද විරෝධය එල්ල වී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් පිළිබඳව කටයුතු කළහැකි අවම සදාචාරයවත් නොසලකා රජය විසින් පුවත්පතේ කර්තෘවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම තමන්ට හීලෑ නොමැති ජනමාධ්‍ය මර්ධනයට රජය තුළ පවතින කැමැත්ත ප්‍රක්ෂේපනය කරන බවයි.
ඒ් අරබයා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ පිළිකුළ රජය වෙත පළකරන බව ද සංගමය සිය නිවේදනය මගින් අවධාරණය කරනවා
එබැවින් මාධ්‍ය මර්ධනය වෙනුවෙන් විවිධ රජයන් ගෙන ආ මාධ්‍ය මර්ධන අණපණත් අහෝසි නොකොට පවත්වා ගෙන යමින් සහ ඒ්වා භාවිත කරමින් වත්මන් රජය පෙන්නුම් කරන්නේ මාධ්‍ය මර්දනයට ඇති කැමැත්ත බවයි වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
මේ අතර නිවේදනයක් නිතුක් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසන්නේ, පසුගිය රාජ්‍ය පාලන සමයන්හිදී මර්දන නීතිවලට එරෙහිව වීදි බැස සටන් කළ දේශපාලන ව්‍යාපාරයක මූලිකත්වයෙන් පිහිටවූ වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත භාවිතා කරමින් මාධ්‍යවේදීන් බිය ගැන්වීමට හෝ මර්දනයට උත්සාහ දැරීම හෙලා දැකිය යුතු බවයි .

Share