මඩකලපුව වාලච්චේන කිරාන් පුරාවිද්‍යා කාර්යාලයේ බල ප්‍රදේශයට අයත් පුරා විද්‍යා දිශා පුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති එස් සුදාකරන් ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් හතරක් යොදවා ඇතැයි පොලිසිය සඳහන් කළා.
මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථාන දැක බලා ගැනිමට පැමිණි සංචාරකයින්ගේ පහසුව උදෙසා දිශා පුවරු සවි කිරීමේ වැඩසටහනක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය 3 වැනිදා ආරම්භ කර තිබෙනවා.
ඒ යටතේ වාලච්චේන පොලිස් වසමේ දේවිමලේ පුරා විද්‍යා ස්ථානයට යන මාර්ගය හදුනා ගැනීම සඳහා එලෙස සවි කර තිබූ දිශා පුවරු ඇතුළු නාම පුවරු හයක් පසුගිය 22 වැනිදා කිසියම් පිරිසක් ඉවත් කරන අයුරු ටීවී සුප්‍රීම් නිවුස් පළමු වරට රට හමුවේ හෙළි කළා.
ඒ අනුව ක්‍රියාත්මක වූ පුරාවිද්‍යා බලධාරීන් වාලච්චේන පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වූයේ වාලච්චේන ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුලු පිරිසක් මෙම පුවරු ඉවත් කර ඇති බවයි.
ඒ අනුව කළ විමර්ශනයේ දී අදාළ පුවරු ගලවා ඉවත් කළ බවට චෝදනා එල්ල වූ සැකකරුවෙකු කිරාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි කිරාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුගෙන් ලද තොරතුරු මත ගලවා ඉවත් කරනු ලැබූ දිශා පුවරු හතක් ද වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ තිබියදී පොලිස් භාරයට ගැණුනා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති එස් සුදාකරන් ඇතුළු සැකකරුවන් හය දෙනෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පැවසුවා.
එලෙස පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 4ක් යොදවා තිබෙනවා.
මීට අමතරව කොක්කඩිචෝලේ පොලිස් වසමේ පුරා විද්‍යා වටිනාකමකින් යුත් ශාන්තා මලෙයි කෝවිලට පිවිසෙන මාර්ගය හඳුනා ගැනීම සදහා සවිකර තිබූ දිසා පුවරු නාම පුවරු දෙකක් පසුගිය 20 වැනිදා ඉවත් කිරීම සම්බන්ධයෙන් ද පට්ටිපොලෙයි පුරාවිද්‍යා බලධාරීන් විසින් කොක්කඩිචෝලේ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් මඩකලපුව අධිකරණයට කරුනු වාර්තා කිරීමෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කලවංචිකුඩි සහකාර පොලිස් අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පල කළා.





