විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ පුබුදු නිරෝෂන් හැඩිගල්ල මහතා, ජනවාරි 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා.
විදුලිබල මණ්ඩලය වෙනුවට පිහිටුවන අනුප්‍රාප්තික සමාගම් 6 පිහිටුවීම සහ එම සමාගම්වලට වත්කම් පැවරීමේ සැලසුම් අවසන් කර ඇති බැවින්, තම රාජකාරිය අවසන් බවයි ඉල්ලා අස්වීම දැනුම් දෙමින් විදුලිබල ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් ක්‍ෂේත්‍රයේ තතු දත් ආරංචි මාර්ග පවසන්නේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඇති වූ කලකිරීම නිසා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම තීරණය ගෙන ඇති බවයි.
විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ල මෙසේ ඉල්ලා අස්වෙන්නේ, නව සමාගම් සහ එම සමාගම්වලට අදාළ වත්කම් සහ වගකීම් ගැසට් කිරීම විෂය භාර අමාත්‍යවරයා විසින් දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටීමට ප්‍රතිචාර වශයෙන් බවයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසන්නේ.
මෙම ගැසට් නිවේදනය දිගින් දිගටම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර මතභේද පැණ නැගී ඇති බව මීට පෙර වාර්ථා වුනා.
ඒ් අනුව අදාළ මෙහෙයුම අවසන් වීමට පෙරම තනතුරෙන් ඉල්ලා අස්වීමට විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර නව විදුලි සමාගම් සම්බන්ධ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම අමාත්‍යවරයා විසින් දිගින් දිගටම කල් දමන්නේ, විධිමත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව, තෝරාගත් සමාගම් කිහිපයකට මහා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘති ලබා දීමේ අරමුණින් බවටත් චෝදනා එල්ල වනවා.
සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා අභිලාෂ කැඳවීමේ ක්‍රියාවලියට ප්‍රතිචාර දක්වමින් අයදුම්පත් 533ක් ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් අදාළ ව්‍යාපෘති සඳහා සුදුසුකම් සපුරා තිබූනේ සමාගම් 47ක් පමන්‍යි.
එහෙත් නිසි ක්‍රමවේදයෙන් සහ විනිවිදභාවයෙන්ම තොරව බලශක්ති අමාත්‍යවරයා විසින් ඉන් සමාගම් 7ක් පමණක් විශේෂිතව තෝරාගෙන ඇත්තේ කවර පදනමින්ද යන්නට අමාත්‍යවරයා මෙතෙක් නිසි පිළිතුරු ලබා දී නැහැ.
මෙලෙස තෝරගත් සමාගම් අතර අමාත්‍යවරයා පොහොර සංස්ථාවේ රැකියාවෙන් නෙරපා සිටිය දී රැකියාව කර ඇති සමාගමක් මෙන්ම රජයේ ඇතැම් ප්‍රචාරක වැඩ සඳහා දායක වූ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට අයත් සමාගමක් ද ඒ් අතර වන බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් මහජන උපයෝගිතා කොමිසම මෙතෙක් මෙම සමාගම් හතේ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දී නැති අතර, විදුලිබල මණ්ඩලය අහෝසි කර පිහිටු වන නවසමාගම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙම සමගම්වල ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යවරයා වෑයම් කරමින් සිටින බවයි විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ නමුත් ඉහත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළ යටතේ හඳුන්වා දුන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ විශ්‍රම ගැනීම තෝරාගත් සේවකයින් 2173ක් පමණ දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.
පිහිටුවන නව සමාගම් වෙත එක් නොවන බව 2025 ඔක්තෝබර් මාසය වනවිට දැනුම් දී ලංවිම සේවයෙන් විශ්‍රාම ගෙන දෙස් විදෙස් විකල්ප රැකියා වෙත යෑමට සැලසුම් කර සිටි මෙම පිරිස බලශක්තිය අමාත්‍යවරයාගේ මේ කල්මැරීම හේතුවෙන් මේ වනවිට භාරගත් රැකියා කොන්ත්‍රාත් පවා අහිමි වී යෑමේ ගැටලුවකට මුහුණ දී සිටිනවා.
විදුලිබල අමාත්‍යවරයා, 2000 වැඩි වූ මෙම සේවකයින්ගේ මුහුණ දී සිටින බරපතළ වෘත්තීය ගැටලුව නොදුටුවා සේ සිටිමින්, සිය හිතවත් සමාගම් 07ක ව්‍යාපෘති වෙනූවෙන් සිදුකරන මෙම කල් මැරීම හේතුවෙන් තමන් මේ වනවිට අල්ලපු අත්තත් පයගහපු අත්තත් නොමැති තත්ත්වයකට පත් වී ඇති බවයි විදුලිබල මණ්ඩල සේවකයින් පෙන්වා දෙන්නේ.





