පුද්ගලයෙකුට සවලකින් පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

රාජගිරිය – කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පසුව ත්‍රිරෝද රථ රියදුරෙකුට සවලකින් පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 6 දෙනෙකු මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
ලබන 16 වැනිදා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුද්ගලයෙකුට සවලකින් පහරදෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත යොමුවුණා.
වැලිකඩ පොලිසියට පැමිණි පහරකෑමට ලක් වූ පුද්ගලයා සඳහන් කර ඇත්තේ මෙම සිදුවීම මාස දෙකකට පමණ පෙර සිදුවූවක් වන අතර පසුව එය සමාජ මාධ්‍යයට සංසරණය වීම හේතුවෙන් තමන් බලවත් ලැජ්ජාවට පත්ව ඇති බවයි.
එහිදී ඔහු තමන්ට පහරදුන් පුද්ගලයින් පිළිබඳව ද පොලිසියට පැමිණිලි කර තිබුණා.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ වැලිකඩ පොලිසිය සවලෙන් පහරදෙන පුද්ගලයා මෙන්ම ඊට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
ඒ අතර ජනප්‍රිය නිරූපන ශිල්පිනි පියුමි හංසමාලිගේ පුත්‍රයාද වනවා.

මීට මාස කිහිපයකට පෙර නිරූපන ශිල්පිනියගේ පුත්‍රයාගේ හිතවතෙකු යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශ හරහා යමින් සිටියදී අනතුරක් සිදුව තිබෙනවා.
සිද්ධියෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි සැකකරුවන් ත්‍රිරෝද රථ රියදුරුට මෙලෙස පහරදී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පහරකෑමට ලක් වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී පැමිණිල්ල මෙහෙයවූ පොලිසිය සහ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා සැකකරුවන් ලබන 16 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.
මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ එතෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
සැකකරුවන් අතර සිටි පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුලු බාලවයස්කරුවන් දෙදෙනෙක් පරිවාස භාරයට යොමු කෙරුණා.

Share