පියතුමාට පහරදීමේ සිද්ධියේ සැකකාර පොලිසියේ නිලධාරීන් 06 දෙනාගේ වැඩ තහනම්

ගම්පහ අස්ගිරි වල්පොල ප්‍රදේශයේදී කොළඹ රදගුරු පදවියේ මිලාන් ප්‍රියදර්ශන පියතුමාට පහරදුන් පොලිස් නිලධාරීන් 06 දෙනාගේ වැඩ තහනම් කිරිමට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තීරණයකර තිබෙනවා. මේ ‍අතර මෙම පහරදීමේ සිද්ධියට එරෙහිව ස්ථාන දෙකකදී අද පෙරවරුවේ නිහඩ විරෝධතා පැවැත්වුණා.

ගම්පහ අස්ගිරි වල්පොල ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී කොළඹ අගරදගුරු පදවියේ මිලාන් ප්‍රියදර්ශන පියතුමාට පොලිස් නිලධාරීන් පිරිසක් පහරදී‍ තිබුණේ පසුගිය සෙනසුරාදා පස්වරුවේ.
පොලිසියේ පහරකැමට ලක්වූ පියතුමා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා. මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් නිලධාරීන් හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන් ඊයේ ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
එහිදී ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් සීලණි පෙරේරා මහත්මිය නියෝග කළේ මීට අදාළ හදුනා ගැනීමේ පෙරෙට්ටුව ලබන 29 වැනිදා පවත්වන ලෙසයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත සංග්‍රාමික යතුරුපැදි ඒකකයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරුන් තිදෙනෙකු හා කොස්තාපල්වරුන් තිදෙනෙක්.
මේ අතර, පෙරේදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් හය දෙනාගේ වැඩ තහනම් කිරීමට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබෙනවා.
වැඩ තහනම් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයකින් අනතුරුවයි.

⁣මේ අතර ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ මීගමුවේදී නිහඩ විරෝධතාවයක් පැවැත්වුණා.
මේ සඳහා පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් එක්ව සිටියා.
පොලිස් පහරදීමට විරෝධතාවය පළ කරමින් තවත් විරෝධතාවයක් පැවැත්වුණේ බොරැල්ලේ
අගරදගුරු මැදුර ඉදිරිපිටදී.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මේ අත⁣ර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද පෙරවරුවේ කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා

Share