කතෝලික පියතුමෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් හය දෙනා ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
එදිනට ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. කොළඹ අගරදගුරු පදවියේ කතෝලික සභා නිකායක් මගින් පාලනය කෙරෙන කොටදෙණියාවේ පිහිටි ගොවිපොලක වතු සහයක පරිපාලක ලෙස කටයුතු කරන ගරු මිලාන් ප්‍රියදර්ශන පියතුමා පොලිස් පහර කෑමකට ලක්ව තිබුණේ සෙනසුරාදා රාත්‍රී 7ට පමණ.
පොලිස් නිලධාරීන් තමන්ට පහරදුන් බව පවසමින් මීගමුව රෝහලට ඇතුළත් වූ පියතුමා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ රාත්‍රී කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණා.
පහරදීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරීන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා.
එම පැමිණිල්ල අද යළි කැඳවනු ලැබුවා.
එහිදී ඉදිරිපත් පත් වූ කරුණු සලකා බැලූ ගම්පහ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හය දෙනා ලබන 29 වැනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
එදිනට හඳුනා ගැනිමේ පෙරට්ටුවක් සිදු කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.





