පැවති වැසි තත්ත්වයේ අඩුවක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම හේතුවෙන් පැවති වැසි තත්ත්වයේ අඩුවක් අද සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිස්ත්‍රික්ක හතරකට පනවා තිබූ නායයෑමේ අවදානම් නිවේදන ද ඉවත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළා.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් පසුගිය සති අන්තයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතියා.
නමුත් පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම හේතුවෙන් එහි බලපෑම මෙරටට අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, මහවැලි ගං ද්‍රෝණියේ පහත් බිම්වල පැවති සුළු ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතිනවා.
වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කළු ගගේ ජල මට්ටම කිසියම් ඉහළ යාමක් පැවතුණද එය අවදානම් මට්ටමක නොමැති බවයි.
මේ අතර දිට්වා ආපදාවත් සමග නායයෑමේ අවදානමට ලක්ව තිබූ රුවන්වැල්ල ඉහළගම පහළ දන්නෝරුවේ නායයෑම යළි සක්‍රිය වී ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.
පැවති අවදානම හේතුවෙන් මීට පෙර නිවාස හතරක පදිංචි පවුල් ඉවත් කිරීමට රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උපදෙස් ලබා දුන්නද ‍තමන්ට මෙතෙක් කිසිදු සහනයක් ලැබී නොමැති බව එම ජනතාව සඳහන් කළා.

මේ අතර, වර්ෂාපතනය අඩුවීම සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්ක හතරකට පනවා තිබූ තෙවන මට්ටමේ නායයෑමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය විසින් ඉවත් කර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස24ක් සඳහා නිකුත් කළ දෙවන අදියරේ අවදානම් නිවේදන තවදුරටත් වලංගු බව එම ආයතනය පැවසුවා.

මේ අතර පැවති වර්ෂාව හේතුවෙන් තම වී අස්වැන්න වේලාගත නොහැකිව අම්පාර ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.
වර්ෂාවට හසුවීම නිසා ඇතැම් ගොවීන්ගේ වී පැළවීම ඊට හේතුවයි.

Share