පැවති ආපදා තත්ත්වය හමුවේ මෙරට සිටින සංචාරක ප්‍රජාවට කිසිදු අනතුරක් සිදුවී නොමැත

පැවති ආපදා තත්ත්වය හමුවේ මෙරට සිටින සංචාරක ප්‍රජාවට කිසිදු අනතුරක් හෝ හානියක් සිදුවී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කලේ ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනට එක්වෙමින්.

ගංවතුර සහන කටයුතු සහ යළි යථා තත්ත්වයට පත් වීම හා ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීම ඊයේ සිදු කෙරුනේ සංචාරක අමාත්‍යංශයේදී
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පසු ජාතික ප්‍රතිසාධනය සහ නැවත ගොඩනැගීමේ ප්‍රයත්නයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.
මෙම සාකච්චාවේ දී හදිසි අවස්ථාවේදී ලබාදුන් කඩිනම් සහයෝගය සම්බන්ධයෙන් මෙන්ම, රට පුළුල් ලෙස ප්‍රතිසාධන ක්‍රියාමාර්ග අනුගමනය කරන අවස්ථාවේදී ලබා දුන් සහයෝගීතාව සහ සහාය වෙනුවෙන්, අග්‍රාමාත්‍ය අමරසූරිය සියලුම රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, ජාත්‍යන්තර සංවිධාන සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට සිය අවංක කෘතඥතාව පළ කළාය.
ශ්‍රී ලංකාව මේ වන විට හදිසි ප්‍රතිචාර දැක්වීමේ අවධියේ සිට යථා තත්ත්වයට පත් වීමේ සහ ප්‍රතිසංස්කරණ අවධියට සංක්‍රමණය වී ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා
එසේම බලපෑමට ලක් වූ සියලුම දිස්ත්‍රික්කවල විදුලිය, ජල සැපයුම, ප්‍රවාහන සම්බන්ධතා, සෞඛ්‍ය පහසුකම් සහ විදුලි සංදේශ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම රජයේ ක්ෂණික ප්‍රමුඛතා අතරට ඇතුළත් වන බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා.
එමෙන්ම සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව පුළුල් අවශ්‍යතා තක්සේරුවක් පවත්වන බවත්, එහි ප්‍රතිඵල යථා තත්ත්වයට පත් වීමේ හා ප්‍රතිසංස්කරණ සැලසුම් සඳහා මඟ පෙන්වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළා
මාර්ග, පාලම් සහ ප්‍රවාහන සම්බන්ධතා අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම; ඇළ මාර්ග, වාරිමාර්ග පද්ධති යළි යථා තත්ත්වයට පත් කිරීම; ආරක්ෂිත ජලය, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂක සේවා ප්‍රතිසංස්කරණය කිරීම; සහ සෞඛ්‍ය හා පාරිසරික අවදානම් අවම කිරීම සඳහා මහා පරිමාණ අපද්‍රව්‍ය කළමනා කරණය සහ සුන්බුන් ඉවත් කිරීම ඇතුළු හඳුනාගත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර වලට සහාය වන ලෙස අග්‍රාමාත්‍ය අමරසූරිය සියලුම ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ට ආරාධනා කළ බවත් සඳහන්
එමෙන්ම අඛණ්ඩ ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාවය ඇය නැවත අවධාරණය කළ අතර සියලුම නිලධාරීන්, පළමුව ප්‍රතිචාර දැක්වුවන් සහ පාර්ශ්වකරුවන්ට දැක්වූ නොපසුබට උත්සාහයන් වෙනුවෙන් සිය ස්තූතිය පළ කළා.

Share