2025 පාකිස්තාන T20I තුන්කොන් ක්රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේ දී සිම්බාබ්වේ පරාජය කරමින් සත්කාරක පාකිස්තානය කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කළා. රාවල්පිණ්ඩි හි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පිල පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
සිම්බාබ්වේ පිල පන්දු වාර 10ක් වෙද්දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 91ක් ලබා ඔවුන් ප්රබල තත්ත්වයක පසු වුණා.
නමුත් කඩුලු 7ක් ලකුණු 37ක් තුළ බිඳ වැටීමෙන් ඔවුන්ට අපේක්ෂා කළ තරම් ඉහළ ලකුණු පුවරුවකට යෑමට හැකි වූයේ නැහැ.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 147කට ඉනිම සීමා වුණා.
සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් බ්රයන් බෙනට් ලකුණු 49ක් රැස් කළා.
පකිස්ථානය වෙනුවෙන් පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් ලකුණු 22කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ පාකිස්තානයේ පළමු කඩුලු 3 ලකුණු 30ක් තුළ දැවී ගියා.
කෙසේ වෙතත් කලක පසු පාකිස්තාන කණ්ඩායමට කැඳවීමක් ලද ෆකාර් සමාන් වේගවත් ලකුණු 44ක් රැස් කරමින් ජයග්රාහී මාවත විවර කළා.
ඒ අනුව පන්දුවාර 19යි පන්දු 2කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 151ක් රැස්කරමින් ජයග්රහණය වාර්තා කරන්නට පාකිස්තානයට හැකි වුණා.
තුන්කොන් T20 ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය හෙට පැවැත්වෙනවා.
තරගය මෙරට වේලාවෙන් හෙට පස්වරු 6:30ට ආරම්භ වීමට නියමිතයි.





