ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි

ගංගා ද්‍රෝණි කිහිපයකට ගත වූ පැය 24ක කාලය තුළ මි.මී. 50ට වැඩි වර්ෂාවක් ඇද හැලී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ වර්ෂාවන් හේතුවෙන් ඇතැම් ගංඟාවල ජල මට්ටම වැඩවීමක් පෙන්වූවත්, එය ගංවතුර මට්ටමක දක්වා වර්ධනය වීමක් පෙන්නුම් නොකරන බව‍යි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
උතුරු පළාතේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි අතර ඌව පළාතෙත්, මාතලේ, කුරුණෑගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාවක් පවතින බවයි කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසන්නේ.
දිවයින වටා මුහුදු ප්‍රදේශය ගත් කළ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඊට අමතරව කොළඹ සිට පුත්තලම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද මදක් රළු විය හැකි බව‍යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ දක්වෙන්නේ.
පසුගිය දිනවල බලපෑ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 25ක පවුල් 495,093 දෙනෙක් තවමත් පීඩවට පත්ව සිටිනවා.
ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 639ක් මරණයට පත්ව තවත් පුද්ගලයන් 210 දෙනෙකු අතුරුදහන්ව සිටිනවා.

අනුරාධපුර – ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ හුරුළුවැව තවමත් වාන්දමමින් පවතිනවා. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ප්‍රධාන ජලාශ 34කට ආසන්න ප්‍රමාණයක් තවමත් වාන් දමමින් ඇති බවයි. මේ අතර පසුගිය දිනවල බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මුලතිව් – කෝකිලායි, නායාරු පාලම් දෙකම හානි සිදුවී ඇති අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම නතර වී තිබෙනවා.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ද සහාය ඇතිව බෝට්ටු සේවාවක් සුදානම් කර තිබෙනවා. මේ අතර මාතලේ ඇල්කඩුව ඩෝටලා වතු යාය ප්‍රදේශයෙහි යළිත් නායයෑමක් සක්‍රීය වී තිබෙන අතර ඒ හේතුවෙන් පවුල් 130ක් පමණ කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අතර මෙම ආපදා සහිත පසුබිමක සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකී සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

Share