පහළ කඩුගන්නාවේ ඛේදවාචකය

පහළ කඩුගන්නාව – ගනේතැන්න ප්‍රදේශයේ නිවසක් සහ හෝටලයක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සුන්බුන් අතර සිරවූ කිහිපදෙනෙක් මුදාගෙන රෝහල් ගත කෙරුණා.
සිරව සිටින බව කියන තවත් පුද්ගලයින් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව – ගනේතැන්න ප්‍රදේශයේ පිහිටි නිවසක් සහ හෝටලයක් මතට අද පෙරවරුවේ පස් කන්දක් කඩා වැටී තිබුණා.
වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ ආපදා සහන සේවකයින් සුන්බුන් අතර සිරවූවන් සොයා මෙහෙයුම් ආරම්භ කළා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ එම ස්ථානයට යුද හමුදා භට පිරිසක් ද යොමු කළ බවයි.
සුන් බුන් අතර සිර වී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු පිටත ගෙන තිබෙනවා.
ඔවුන් කඩිනමින් මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
ඒ අතුරින් එක් අයෙක් මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා. මේ අතර පස් කන්දට යට සිරවී සිටින බව කියන තවත් පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ වන විට මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.
ඒ අනුව පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

Share