පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය ලබන දෙසැම්බර් 18 වැනිදා

අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීමක් මත ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය කතානයක ජගත් වික්‍රමරත්න මහතා‌ගේ අත්සනින් පසුගිය සිකුරාදා නිකුත් කෙරුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩුව ඉදිරිපත් කරනු ඇති බවයි.
කෙසේ වෙතත් සුභසාධන ගෙවීම් මෙන්ම හදිසි අලුත්වැඩියා කටයුතු සඳහා වන නව ඇස්තමේන්තු ගණනය කිරීමෙන් පසු මෙම මුදල දෙගුණ වී තිබෙනවා.
ඒ අනුව, රුපියල් බිලියන 1,000 ක හදිසි අරමුදල් ලබා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය ලබන දෙසැම්බර් 18 වැනිදා පැවැත්වෙනු ඇති අතර 19 වැනිදා ඡන්ද විමසීම සිදුකරනු ඇති.
ඉන් පසු පාර්ලිමේන්තුව ලබන වසරේ ජනවාරි 6 වැනිදා දක්වා යළි කල් තැබීමට නියමිතයි.
මෙම පරිපූරක ඇස්තමේන්තුව 2026/2027 අයවැය වර්ෂය ආවරණය කරනවා.
වියළි සලාක දීමනා සහ නිවාස දීමනා ලබා දීම, අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් සමීක්ෂණ පැවැත්වීම සහ අනෙකුත් සහන සහ ප්‍රතිසාධන කටයුතු සිදු කිරීම සඳහා ක්ෂණික අරමුදල් අවශ්‍යතාවක් රජයට උද්ගතව තිබෙනවා.
මේ අතර ජනාධිපතිවරයා හෙට දින ආපදා කළමනාකරණය සඳහා වූ විශේෂ ජාතික කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇති අතර, ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින්ට ආරාධනා කර තිබෙනවා.
2004 සුනාමියෙන් පසු 2005 අංක 13 දරන ආපදා කළමනාකරණ පනත යටතේ පිහිටවනු ලැබුව ද බොහෝ දුරට අක්‍රීයව පැවති කවුන්සිලය පසුගිය අගෝස්තු මාසයේ දී රැස් වුණේ වසර ගණනාවකට පසුවයි.
මෙම නීතියට අවශ්‍ය සංශෝධන කිහිපයක් පිළිබඳ හෙට කැඳවා ඇති කවුන්සිල රැස්වීමේදී සාකච්ඡා කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

Share