නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවයි

ලංකා ගල්අඟුරු සමාගම විසින් හදිසි මිලදී ගැනීම් යටතේ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000 මිලදී ගැනීම වෙනුවෙන් ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබෙනවා.
පවතින ගල් අඟුරු සැපයුම අසාර්ථක වීම හේතුවෙන් හදිසි අවශ්‍යතාවයක් මතු වුවහොත් ඊට මුහුන දීම සඳහා ගල්අඟුරු සැපයීම් සදහා මිලගණන් ඉදිරිපත් කරන ලෙසයි ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා ලියාපදිංචි ගලඅඟුරු සැපයුම්කරුවන්ට දැනුම් දී ඇත්තේ.

2025 / 2026 වසර සඳහා නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ගෙන්වන ලද ගල්අඟුරුවල ප්‍රමිතිය පිළිබඳව මතුව ඇති දැඩි මතභේද හමුවේ, බලශක්ති අමාත්‍යාංශය මෙම පියවර ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙරටට ගෙන්වන ලද ගල්අඟුරු අවශ්‍ය ප්‍රමිතියෙන් ක්‍රියාත්මක නොවූයේ නම් ඉදිරි කාලයේ බලශක්ති අර්බුදයක් මතුවනු ඇති බවට විවිධ පාර්ශව අනතුරු අඟවා තිබුණා.
නිල ටෙන්ඩර් පටිපාටිය යටතේ, 2025 / 2026 වසර සඳහා මෙරටට ගල්අගරු සැපයීමේ ටෙන්ඩරය හිමිකරගත් ඉන්දියාවේ ට්‍රයිඩෙන්ට් කෙම්පර් නැමති සමාගම විසින් මේ දක්වා මෙරටට ගල් අඟුරු නැව් 10ක් ගෙන්වා ඇති අතර, එම සියලු ගල්අඟුරු නැව්වල අඩංගු ගල්අඟරු නිසි ප්‍රමිතියෙන් දහනය නොවන බවයි ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් බලාගාරයේ ඉන්ජිනේරුවන් පෙන්වා දුන්නේ.
මේ අතර, මෙරටට ගෙන්වන ලද ගල්අඟුරුවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුව සහ ඒ් ආශ්‍රයෙන් යම් අලාභයක් වෙන්නේ නම් එය පියවා ගැනීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් බලශක්ති අමාත්‍යාංශය විසින් පසුගිය දා විශේෂඥ කමිටුවක් ද පත්කරනු ලැබුවා.
ඒ් සමගම මෙම ගල්අඟුරු ගැටලුව හේතුවෙන් යම් බලශක්ති අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ ගලඅඟුරු සපයා ගැනීමට පසුගිය දා රැස්වූ කැබිනට් මණ්ඩලය ද අනුමැතිය ලබාදී තිබුණා.
ගලඅඟුරු සමාගම හදිසි මිලදීගැනීම් යටතේ ගල්අඟරු සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත්තේ එවන් පසුබිමක් යටතේයි.

Share