නුවරට ආ බෝම්බ බිය

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් ඇටවූ වාහනයක් නතර කර ඇති බවට ලද ව්‍යාජ ඊමේල් පණිවිඩයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ අද පෙරවරුවේ තරමක නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබුණා.
ඒ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිල සුනඛ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඒ අවට පරිශ්‍රය දැඩි සෝදිසියකට ලක් කළා.
අපකළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පැවති ආපදා තත්ත්වයට මුහුණ දුන් පිරිස් වෙත ලබාදීම සඳහා එක්රැස් කර ඇති ආහාර ද්‍රව්‍ය තොගද එම පරිශ්‍රයේ විශාල ලෙස ගබඩා කර ඇති නිසා අදාළ සෝදිසි කිරීමේ මෙහෙයුම සඳහා සැළකිය යුතු කාලයක් ගතවූ බවයි.
කෙසේ වෙතත් පුපුරණ ද්‍රව්‍ය හෝ එවැනි සැක කටයුතු කිසිවක් සිදුකළ පරීක්ෂාවේදී හමුවී නොමැති අතර අදාළ ව්‍යාජ ඊමේල් පණිවිඩය සම්බන්ධයෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Share