නීතිපතිට එරෙහි නිහඬ විරෝධය

නීතිපති පාරින්ද රණසිංහ මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.
මෙවන් පසුබිමක නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල පළ කර තිබෙනවා.

වත්මන් නීතිපති ජනාධිපති නීතිඥා පාරින්ද රණසිංහ මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාවක නිරත වුණා. විරෝධය එල්ල වූයේ ඇතැම් නීති කෘත්‍යයන්වලදී පක්ෂග්‍රාහීව කටයුතු කිරීම, දූෂිත පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය කඩිනමින් ක්‍රියාත්මක නොකිරීම, ඔවුන් ආරක්ෂා කිරීම සහ නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිදුවන දුෂිත ක්‍රියා ආදිය සම්බන්ධයෙන්.

මේ අතර නීතිපතිවරයා ඉලක්ක කරගනිමින් මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපති ධුරයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බාධා කිරීමට ඇතැමුන් උත්සාහ දරන බව පවසනවා.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ අපරාධමය නඩු කටයුතුවලට අදාළව නීතිපතිවරයා අර්ධ අධිකරණමය කාර්යභාරයක් ඉටු කරන බවයි.
නීතිපතිවරයාගේ තීරණ, අභියාචනාධිකරණය හමුවේ රිට් ආඥාවක් මගින් හෝ ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් සමාලෝචනය කළ හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙනවා.
අධිකරණ නිලධාරීන් සහ අර්ධ අධිකරණ නිලධාරීන් නීතියට අනුව තීරණ ගතයුතු බවත් එම තීරණ ඇතැම් විට මහජන මතය අනුව සිදුනොවන්නට ඉඩ ඇති බවටත් වටහා ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

නීතිපතිවරයාට එරෙහිව පැවැත්වෙන විරෝධතා තමන් තරයේ හෙලා දකින බව පිවිතුර හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. මේ අතර නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව සංවිධානාත්මකව සිදුකරන සමාජ මාධ්‍ය අපහාස සහ වෛරී ප්‍රචාර සම්බන්ධයෙන් සංදේශයක් බාරදීම සදහා නීතිඥ මෛත්‍රී ගුණරත්න, උපුල් ජයසුරිය ඇතුළු නීතිඥවරුන් තිස් දෙනෙක් අද නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණියා. නීතිපති දෙපාර්තමේන්තුව විනාශ කර දේශපාලනික හෝ පුද්ගලික අරමුණු මත පදනම්ව එය භාවිතා කිරීමට යම් පිරිසක් උත්සාහ කරන බවක් පෙනෙන බව සංදේශය මඟින් දක්වා තිබෙනවා.

මේ අතර මෑතකාලීනව විවිධ පාර්ශ්වයන් විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට සහ විනිසුරුවරුන්ට එරෙහිව අසත්‍ය සහ පදනම් විරහිත විවේචන එල්ල කරමින්,සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට දරන ලද උත්සාහයන් පිළිබඳව අධිකරණ සේවා සංගමයේද දැඩි අවධානය යොමුව තිබෙනවා.
එම සංගමය නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ තීරණවලට කෙලින්ම හෝ අන්‍යාකාරයකින් බලපෑම් කිරීමද අධිකරණයකට,විනිශ්චය අධිකාරියට හෝ ආයතනයකට අපහාස කිරීම , විනිසුරුවන්ට අපහාස කිරීමද සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. අසත්‍ය සහ පදනම් විරහිත විවේචන සමාජගත කිරීම මඟින් මහජනතාවට අධිකරණ පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය පළුදු කිරීමත් නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීමත් හරහා ඉලක්කගත,විනාශකාරී උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ද අදාළ නිවේදනයේ සදහන්. අධිකරණ සේවා සංගමය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් පවසන්නේ එවන් උත්සාහයන්ට විරුද්ධව ගතහැකි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි.

Share