නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් වෙඩික්කරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පවසයි

අකුරේගොඩ දී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වෙඩික්කරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිසිය අද කඩුවෙල් වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දුන්නා.
එම සැකකරු ඊයේ අම්බලන්ගොඩ …… ප්‍රදේශයේ දී අත්අඩංගුවට‌ ගනු ලැබුවා.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් නවදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩික්කරුට අමතරව තවත් කිහිප දෙනෙක් රඳවාගෙන ප්‍රශ්න කරනවා.

පසුගිය 13 වැනි දින අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඇතුලු විමර්ශන කණ්ඩායම් 12ක් විමර්ශන කළා.
ඒ අනුව බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ සවස් කාලයේ අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේදී ඊයේ පස්වරු 6.45ට පමණ මෙම අපරාධයේ වෙඩික්කරුවෙකු බවට සැලකෙන සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු සතුව තිබූ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගෙන ති‌බෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සුනිල් රංජිත් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 46ක් වන බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුව ඊයේ රාත්‍රියේම ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබුවා.
ප්‍රශ්න කිරිම්වල දි පවසා ඇත්තේ තමා සිය මිතුරෙකුගේ නිවසක නැවතී හිඳිමින් යාබද කුරුඳු ඉඩමක වැඩ කළ බවයි.
නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනයෙන් පසුව මෝටර් රථයකින් ගමන් කර කොට්ටාවට ආසන්න ස්ථානයකදී මෝටර් රථයෙන් බැස බස් රථයක නැග අම්බලන්ගොඩට පැමිණි බව සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා.
ඔහු අනාවරණ කර ඇති ආකාරයට ඝාතනය සිදුකර ඇත්තේ කරන්දෙනිය සුද්දාගෙන් දුරකතන මාර්ගයෙන් ලැබුණු කොන්ත්‍රාත්තුවක් මතයි.
ඒ සඳහා තමන්ට කරන්දෙනියේ සුද්දාගෙන් රුපියල් ලක්ෂයක මුදලක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ලැබුණු බවද සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ හිටපු යුද හමුදා සෙබළෙකු වන සැකකරු 2009 වසරේදී ලබා දුන් පොදු සමා කාලය තුළදී නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වී ඇති බවයි.
සැකකරු කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී පොලිසිය දැනුම් දුන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

මෙම ඝාතනයට අදාලව මේ වන විට වෙඩික්කරුවෙක් ඇතුළු සැකකරුවන් 9දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 16 වැනිදා කොට්ටාව හා අතුරුගිරිය පොලිස් වසම්වල දී සහ 17 වැනිදා කහතුඩුව පොලිස් වසමේදී යි
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ද්විත්ව ඝාතනයේ ගිනිඅවි ප්‍රවාහනය කරමින් නීතිඥවරයාගේ වාහනය ගැන ඔත්තුව දුන් අතුරුගිරියේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් සහ එය සම්බන්ධීකරණය කළ ”පොල්ගස්ඕවිට ඩිලා නැමැත්තයි.
සෙසු සැකකරුවන් 6 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය ඊයේ පස්වරුවේ කහදූව ඇත්කඳුර ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී.
මේ අතර වෙඩික්කරුවකු ඝාතන සිද්ධියට පෙර පන්නිපිටිය ප්‍රදේශයේ නවාතැන්පලකට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පලාගොස් ඇති බවට ද තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
එලෙස පලා ගොස් ඇත්තේ කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බව කියන කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුගේ සමීපතමෙයකු බවද පොලීසිය පැවසුවා.
එම සැකකරුට රටින් පලායාම සදහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට යෑමට සහ වෙඩික්කරුවන්ගේ ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට කුලී පදනම මත ලබාගත් මෝටර් රථය ද ඊයේ පස්වරුවේ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඇල්පිටිය කහදුව ප්‍රදේශයේ නිවසක තිබියදී මෝටර් රථය සොයා ගැණුනේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුවයි.
වෙඩික්කරුවන් අපරාධය පෙර දිනවල කොට්ටාව සහ කඩවත අතර ගමන් කිරීමට මෙම වාහනය යොදා ගෙන ඇතැයි පොලිසිය අනාවරණ කර ගෙන තිබෙනවා.
ගිනි තබා විනාශ කර තිබූ අපරාධය සඳහා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය බද්දේගම ප්‍රදේශයේ මාර්ගයක දී පොලිසිය මීට පෙර සොයා ගත්තා.
එමෙන්ම අපරාධය සඳහා ගිනිඅවි ප්‍රවාහනය කිරීමට භාවිතා කළ තවත් වාහනයක් කොට්ටාව ප්‍රදේශයේදී සොයා ගැණුනා.

Share