බත්තරමුල්ල අකුරේගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ දී ගිනි අවි ප්‍රවාහනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට දක්වා රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඩුබායි හි සැඟව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මල්වානේ ටුටු නැමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙක්.
බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක රථගාලේ නවතා තිබූ මෝටර් රථයක් තුළ දී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය 13 වැනිදායි.
මෙම ප්‍රහාරය සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථය බද්දේගම අගලිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගිනි ගනිමින් තිබියදී පොලිසිය සොයා ගත්තේ පසුගිය සෙනසුරාදා රාත්‍රියේයි.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එ් සම්බන්ධයෙන් වන ස්ථානීය පරීක්ෂණය අද පෙරවරුවේ සිදුකළා.
බස්නාහිර බස්නාහිර දකුණ දිශාව අපරාධ කොට්ඨාසය මඟින් කළ විමර්ශනයේ දී මෙම ද්විත්ව ඝාතනය සඳහා වෙඩික්කරුවන්ට ගිනි අවි සැපයූ බව පැවසෙන එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ කරන්දෙණිය සුද්දාගේ උපදෙස් මත ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික මල්වානේ ටුටු සහ මෝදර නිපුණගේ මෙහෙයුම් මත මෙම ඝාතනය මෙහෙයවා ඇති බවයි.
ඝාතනයට අදාළ ටී 56 වර්ගයේ ගිනි අවිය සහ රිවෝල් වර්ගයේ ගිනි අවිය සොහොයුරන් දෙදෙනා විසින් ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකුගෙන් ලබා ගෙන ඇත්තේ කොටිකාවත්ත ප්‍රදේශයේදී.
සොහොයුරන් දෙදෙනා විසින් කුලී පදනම මත ලබා ගත් කළු පැහැති මෝටර් රථයකින් එම ගිනි අවි රැගෙන විත් අකුරේගොඩ සුපිරි වෙළෙඳ සැල අසලදී පස්වරු 3.30ට පමණ වෙඩික්කරුවන්ට ලබාදී දී ඇතැයි පැවසෙනවා.
එලෙස ආයුධ ලබාදී ආපසු යන අතරේ නීතිඥවරයා බිරිඳ සමඟ මෝටර් රථයෙන් පැමිණෙන ආකාරය දැක ඒ බව වෙඩික්කරුවන්ට දන්වා ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් 22 හැවිරිදි හා 26 හැවිරිදි සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී ඔවුන් හෙට දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවුණා.
මේ අතර, මෙම ඝාතනය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කෙරුණා. අද පාර්ලිමේන්තුවේදී ද මෙම ඝාතනය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.





