නිසි අනුමැතියකින් තොරව නුවරඑළිය මහ නගර සභාව මගින් වීදි ලාම්පු සවිකිරීමට අවශ්‍ය රුපියල් මිලියන 9.7 ක උපකරණ හා අමුද්‍රව්‍ය මිලී ගැනීමක් සම්බන්ධයෙන් අනාවරණය වනවා.
ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී ජූඩ් චන්දන මහතා චෝදනා කරන්නේ නගර සභාවේ මුදල් කාරක සභා අනුමැතිය ලබාදීමට පෙර නිලධාරීන් කිහිපදෙනෙක් විසින් අදාළ වීදි ලාම්පු ඇතුළු උපකරණ අත්තනෝමතිකව ගබඩාවට රැගෙනවිත් ඇති බවයි.
ජාතික ජන බලවේගයට බලය හිමි නුවරඑළිය මහ නගර සභාවේ මාසික සභා වාරය පසුගිය 9 වැනිදා පැවැත්වුණා.
එහිදී මුදල් කාරක සභාවේ වාර්තාව සම්මත කිරීමේදී පාලක පක්ෂයේත් විපක්ෂයේත් බරපතල විවේචනයන් එල්ල වූ බව අප වාර්තාකරු සඳහන් කළා.
ඊට හේතුව වී ඇත්තේ නුවරඑළිය මහ නගර සභාව මගින් වීදි ලාම්පු සවිකිරීමට අවශ්‍ය රුපියල් මිලියන 9.7 ක උපකරණ හා අමුද්‍රව්‍ය නිසි අනුමැතියක් ලබා දීමට පෙර මිලදී ගෙන තිබීමේ සිද්ධියක්.
ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී ජූඩ් චන්දන මහතා පැවසුවේ නාගරික කොමසාරිස්වරයා ප්රමුඛ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ඊට සම්බන්ධ බවයි.
මේ අතර නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී නුවන් පෝරුවතොට මහතා පැවසුවේ ආණ්ඩු පක්ෂය විසින් අනුමත කර තිබූ මිලදී ගැනීමක් සඳහා පසුව මුදල් නොගෙවීමෙන් රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත්ව ඇති බවයි.
අප මේ සම්බන්ධයෙන් නුවරඑළිය නාගරික කොමසාරිස් විවේකාන් බණ්ඩාර සහ ගණකාධිකාරී නන්දන ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් විමසීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ.





