නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩනය දිවයිනෙන් ඉවතට

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම හේතුවෙන් වැසි සහිත කාලගුණය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් අද රාත්‍රියේ දිවයිනේ දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
මේ අතර, දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා නිකුත් කර තිබූ තෙවන අදියරේ නායයෑමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහිත තත්ත්වයක් පැවතුණා.
අද දි‍නයේද ප්‍රදේශ කිහිපයකට තද වැසි ලැබී තිබෙනවා.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සෝමාවති පුද බිමට පිවිසෙන සුංගාවිල 35 කණුව ප්‍රදේශයේ ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගය වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.
ගංවතුර හේතුවෙන් කොටුවූ සෝමාවතිය වැදපුදා ගැනීමට පැමිණි පිරිසක් බස් රථ මඟින් රැගෙන ආවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ‍සෝමාවතිය රජමහා විහාරයට ගමන් කරන බැතිමතුන්ගෙන් හා මහවැලි ග‍ඟට ආසන්නව වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි.
මේ අතර, ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මාවනැල්ල ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ද ජලයෙන් යටවූ බව අප වාර්තාකරු පැවසුවා.
අධික වර්ෂාව හේතුවෙන් ඊයේ රාත්‍රියේ මහනුවර නගරයේ දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය ඇතුලු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වුණා.
මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පාලම ඉදිකිරීමට ගඟ මැද සාදා තිබූ තාවකාලික පාලම ද කඩා ගෙන ගොස් තිබුණා.
මේ අතර, අඛණ්ඩව ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නොතකා දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් ඊයේ රාත්‍රියේ ශ්‍රී පාද වන්දනාවට එක්ව සිටියා.

මේ අතර, පැවති අධික වර්ෂාවත් සමග මධ්‍යම කඳුකරයේ දියඇලි සක්‍රීය වී තිබෙනු දක්නට ලැබුණා.
වැව් හා ජලාශ කිහිපයක් ද වාන් දමන බව අප වාර්තාකරුවන් පැවසුවා.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ස්ථාන කිහිපයක් නායයෑමේ අවදානමට ලක්ව තිබෙනවා.
මහනුවර සිට ගන්නේරුව හරහා මුරුතලාව දක්වා මාර්ගයේ එක් කොටසක සිදුවූ පස් කඳු කඩා වැටීමක් හේතුවෙන් අද පෙරවරුවේ රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබුණා.
කෙසේවෙතත් අද දහවල් වන විට කුඩා වාහන ධාවනය කළ හැකි පරිදි මාර්ගය සකස් කර තිබූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
පවතින වර්ෂා සහිත කාලගුණයත් සමඟ මහනුවර, මාතලේ, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා පැන වූ තෙවන අදියරේ නායයෑමේ රතු නිවේදන තවදුරටත් බලාත්මක කිරීමට ගොඩනැගිලි පර්යේෂණ ‍ආයතනය තීරණය කර තිබනවා.

මේ අතර නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය, දිවයිනෙන් ඉවතට ගමන් කිරීම නිසා, දැනට පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළා.

කාලගුණ නිවේදනයේ දැක්වුණේ අද රාත්‍රී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.
හෙට දිනයේ උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා.
එමෙන්ම මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට පස්වරු 2.00 න් පසුව මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්.

Share