නිදහස වෙනුවෙන් යුද්ධ හමුදාවේ 9,158 දෙනෙකුට උසස් වීම්

78 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව යුධ හමුදා සාමාජිකයින් 9,158 දෙනෙකුට උසස් වීම් ලබා දුන්නා.
අද දිනයේ සිරකරුවන් 49 දෙනකුට විශේෂ ජනාධිපති සමාවද පිරිනමා තිබෙනවා.
නිදහස් දින සැමරුමට සමගාමීව සර්ව ආගමික වතාවත් ද අද පෙරවරුවේ පැවැත්වුණා. අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ ඇති නිදහස් ලංකාවේ ප්‍රථම අගමැතිවරයා මෙන්ම ජාතියේ පියා විරුදාවලි ලත් මාහාමන්‍ය ඩී එස් සේනානයක පිළිරුවට පුෂ්පොපහාර දැක්වීම සිදුකෙරුණේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් මහාතාගේ ප්‍රධානත්වයෙන්. නිදහස් දින බෞද්ධ ආගමික වතාවත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ විමල මහා නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කොල්ලුපිටිය ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා.
එම අවස්ථාවට විපක්ෂ නායන සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටියා. බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී කතෝලික ආගමික වතාවත් සිදුකෙරුණේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. හින්දු ආගමික වතාවත් වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේදී පැවැත්වුණා. ඉස්ලාම් ආගමික වතාවත් සිදුකෙරුණේ ජාවත්ත ජුම්මා මුස්ලිම් පල්ලියේදී. ක්‍රිස්තියානි ආගමික වතාවත් සිදුකෙරුණේ කොළඹ 05 කිරිමණ්ඩල මාවතේ පිහිටි දේව සභාවේදීයි.

මේ අතර 78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බලසේනාවන්හි සෙසු නිලයන් 9,158 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් දක්වා උසස් කරනු ලැබුවා.
මේ අතර ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අද දිනයේදී සිරකරුවන්ට අමුත්තන් හමුවීමේ විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබුණා.

එමෙන්ම සිරකරුවන් 49 දෙනකුට විශේෂ ජනාධිපති සමාව ද පිරිනමා තිබෙනවා
ඒ අනුව ජනාධිපති සමාව හිමිව ඇත්තේ, බන්ධනාගාරගතව දඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති 01ක සමාවක් ප්‍රදානය කිරීම, රුපියල් 75,000 ට අඩු දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනා-ගාරගතව සිර දඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම යන නියමයන් හා කොන්දේසි යටතේයි.

Share