නායයෑම හමුවේ අවදානමට ලක්වූ කබරගල වතුයායේ ජනතාව

දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ නායයෑම හේතුවෙන් උන් හිටිතැන් අහිමි වූ තමන්ගේ ගැටලු පිළිබඳව කඩිනමින් සොයා බලා විසඳුම් ලබා දෙන්නැයි මන්දාරම්නුවර කබරගල වතුයායේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
කබරගල වතුයායේ වතු නිවාස පේලි දෙකක පවුල් විසි හතරක් නාය යෑමේ අවදානමක් හේතුවෙන් වෙනත් ස්ථානයක පදිංචි කරවීම සඳහා නිර්දේශ කර තිබුණද ඔවුන් තවමත් ජීවත් වන්නේ එම ස්ථානයේ ඉදි කර ඇති කූඩාරම් තුළයි.

මන්දාරම්නුවර කබරගල කඳුකර ප්‍රදේශය යනු මෑතදී සංචාරක ව්‍යාපාරය අතින් වඩාත් කැපී පෙනෙන ආකර්ශනයක් දිනා ගත් දුෂ්කර ගම්මානයක්.
මෙම ගම්මානය ආශ්‍රිතව විදේශ සංචාරකයින් සඳහා පහසුකම් සපයන හෝටල් කිහිපයක්ද පිහිටා තිබෙනවා.
කෙසේවෙතත් ඔවුන්ගේ ජන ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරමින් දිට්වා සුළි කුණාටුවෙන් මන්දාරම්නුවර කබරගල වතුයායේ ස්ථාන කිහිපයක් නායයෑමට ලක්වුණා.
ගම්මානයේ ප්‍රවේශ මාර්ග, වගාබිම්, වතු නිවාස, යාන වාහන, සහ හරකා බාන, ආදී බොහෝ දේ නායයෑමට හසුවී විනාශ වී තිබෙනවා.
මේ හේතුවෙන් මතුවූ අවදානම හමුවේ එම වතුයායේ නිවාස පේලි දෙකක ජනතාව ඉන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා.
ඒ ඔවුන් ජීවත් වූ නිවාස හරහා අනතුරුදායක ලෙස ජලය ගලායාම හේතුවෙන්.
අවදනම හමුවේ එම නිවාසවලින් ඉවත් කළ ජනතාවට ජීවත්වීම සඳහා තාවකාලික කූඩාරම් ලබාදීමටයි රජය කටයුතු කළේ.
මීට පෙර 2017 වසරේදී ද මෙම වතු නිවාස නායයෑමේ අවදානමට ලක්වූ ඒවා බව හඳුනාගෙන් තිබුණා. අවදානම හමුවේ පීඩාවට පත්ව සිටින කබරගල වතුයායේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ව සුදුසු ස්ථානයක ස්ථිරව පදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Share