ඊයේ රාත්‍රී සහ අද උදෑසන නාගොඩ ශික්ෂණ රෝහලේ දී සහ කොහුවලදී සිදු වූ වෙඩි තැබිම් පාතාල කණ්ඩායම් දෙකක් අතර ඇතිව තිබෙන ආරවුලක ප්‍රතිපලයක් බවට පොලීසිය සැක කරනවා.
නාගොඩ ශික්ෂණ රෝහලේ සිදු වූ වෙඩි තැබිමේ ඉලක්කය වී තිබුණේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටිය දී ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත කර සිටි රැඳවියෙක්. නාගොඩ ශික්ෂණ රෝහලේ ශල්‍ය වාට්ටුවවක් වන වාට්ටු අංක 14 ප්‍රතිකාර ලබමින් සිටි මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත මෙම රැඳවියාට අද පෙරවරු 6.15 පමණ නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා තිබෙනවා.
මෙම වෙඩි තැබිම සිදු වන අවස්ථාවේ ඒ අසල බන්ධනාගාර නිළධාරීන් ද රඳවියාගේ ආරක්ෂාවට යොදා සිට ඇති අතර රැඳවියාගේ පාදයට ද මාංචු යොදා තිබූ බවයි වාර්තා වන්නේ.
උදෑසන රෝගීන් බලන වේලාවේ සිදුකළ මෙම වෙඩි තැබිමෙන් නාරායනගේ දිලිප් චතුරංග නොහොත් “රජවත්තේ චතුවා” නම් රැඳවියාගේ උදරය ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ඒ අනුව ඔහු අද පෙරවරුවේම ශල්‍යකර්මයකට භාජනය කළ බවද අදාල නිළධාරීයා වැඩිදුරටත් කියා සිටියා.
පොලිසිය සදහන් කලේ වෙඩි තැබිම සදහා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවයි. ඔහු දෙසැම්බර් 13 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අයෙක්.
මෙම තැනැත්තා බන්ධනාගාර ගතව සිටිය දී පසුගිය 29 දා බන්ධනාගාර රැඳවියන් පිරිසකගේ පහරදීමකට ලක්ව නාගොඩ රෝහලට ඇතුගත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.
මේ අතර කොහුවල, සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ10.30 පමණ සිදු වූ වෙඩි තැබීමකින් 16 හැවිරිදි තරුණියක තුවාල ලබා තිබෙනවා.
මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ ඩුබායි අවිශ්ක නැමැත්තා බවටයි පොලිසිය සැක කරන්නේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණිය කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු සැත්කමකට ද බාජනය කර තිබෙනවා
ඊයේ රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා යන අයුරු CCTV දර්ශනවල මෙලෙස සටහන්ව තිබුණා.
පොලිසිය සැකකරන්නේ වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ තුවාල ලැබූ තරුණියගේ මව බවටයි.
පසුගියදා 22 වැනිදා රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් යමින් සිටි ඩුබායි අවිශ්කගේ ගෝලයෙකු කොහුවල සහ නුගේගොඩ මංසන්ධි අතර ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට මෙම කාන්තාව ඔත්තු බලා ඇති අතර ඊට පලි ගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි විමර්ශන වලදි අනාවරණය වී ඇත්තේ.
විමර්ශන නිළධාරින් පවසන්නේ වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ කාන්තාව පසුගිය වසර කිහිපය තුළ ඩුබායි අවිශ්කගේ මත්ද්‍රව්‍ය ජාවරම් වලට සම්බන්ධ වී ඇති බවයි.
ඊට අදාළ තොරතුරු බඩෝවිට අසංක නමැති සංවිධානාත්මක අපරාධකරුට ලබාදී ඇති බවද හෙළිවී තිබෙනවා.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල මෙහෙයුම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘චූටි මල්ලි’ ලෙස හැඳින්වෙන රසික චන්දික කුමාර ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කලේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අනුව සැකකරු නැවත මෙරටට ගෙන ඒම සඳහා පිටුවහල් කිරීමේ ක්‍රියාපටිපාටි ආරම්භ කරන ලෙස ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව පොලිසිය සදහන් කළා.
මේ අතර බන්ධනාගාර ගතවී සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාරයේ හිටපු ගබඩා පාලකවරයෙකු සමඟ පස්දෙනෙකු බියගම යබරලුව කිරිඇලමුල්ල ප්‍රදේශයේ නිවෙසකදී බියගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.
සැකකරුවන් ළඟ තිබි හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ඇති අතර අත් අඩංගුවට ගත් බන්ධනාගාරයේ හිටපු ගබඩා පාලකවරයා දැනට සේවයෙන් පහ කර ඇති බවද පොලිසිය සදහන් කළා.





