නව විගණකාධිපති ලෙස ජයරත්නට අනුමැතිය

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාමයෝජනා සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ මතු වූයේ කඹ ඇදීම් හේතුවෙන් දිගු කලක් පුරප්පාඩු වී පැවති රජයේ විගණකාධිපති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.පී. ජයරත්න මහත්මියගේ නම අනුමත කිරීමට අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් ජයරත්න මහත්මියගේ නම මීට පෙර ද ව්‍යවස්ථාදායක සභාවට යොමුකර තිබූ නමුත් ඒ් අවස්ථාවේදී ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයින් බහුතරයක් විසින් ඇයගේ නම ප්‍රතික්ෂේප කර තිබුණා.
කෙසේ නමුත් අද රැස්වූ ව්‍යවස්ථාදායක සභාව, විගණකාධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් නැවතත් යෝජනා කළ එල්.එස්.පී. ජයරත්න මහත්මියගේ නම ඒ්කමතිකව සම්මත කළ බවයි වාර්තා වෙන්නේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූයේ මේ වන විට දීර්ඝ කාලයක් පුරප්පාඩුව පවතින විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයාගෙන් ඉදිරිපත් වූ නාම යෝජනාව සලකා බැලීමටයි.
ඒ අනුව රැස්වූ ව්‍යවස්ථාදායක සභාව විගනකාධිපති දෙපාර්තමේන්තුවේ 42 වැනි විගණකාධීපතිවරිය ලෙස එල්.එස්.පී. ජයරත්න මහත්මියගේ නම අනුමත කර තිබුණා.
හිටපු විගණකාධීපති චූලන්ත වික්‍රමරත්න මහතා පසුගිය වසරේ අප්‍රේල් මස 06 වැනි දින විශ්‍රාම ගැනීමෙන් පසු මාස 10කට ආසන්න කාලයක් මෙරට මූල්‍ය නියාමනයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන විගණාකාධිපති දෙපාර්තමේන්තුවේ මුල් පුටුව හිස්ව පැවතුණා.
ඒ එම ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වරින් වර ඉදිරිපත් කරන ලද නාමයෝජනා ව්‍යවස්ථාදායක සභාව හමුවේ අවස්ථා හතරකදී ප්‍රතික්ෂේප වීම හේතුවෙන්.
ජනාධිපතිවරයා විසින් මෙම නාම යෝජනා ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කිරීමේදී මාස හයකට ආසන්න කාලයක් වැඩ බලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කළ විගණාකාධීපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම සහ පරිනතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතාගේ නම ඉදිරිපත් කර තිබුනේ නැහැ.
ඒ අනුව මෙම තනතුර සඳහා සුදුසුකම් සියල්ල සපුරා සිටින ධර්මපාල ගම්මන්පිල මහතා පත්කරන ලෙස දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මෙන්ම මහනායක හිමිවරුන් ද අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරනු ලැබුවා.
මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කළ සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනා ගේ ධුර කාලය අවසන් වීම හේතුවෙන් පසුගියදා ඒ් වෙනුවෙන් අලුතින් සාමාජිකයින් තිදෙනෙකු පත්කිරීමත් සමග ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය අලුත් වීමෙන් පසු ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මීට පෙර ප්‍රතික්ෂේප කරන ලද එල් එස් අයි ජයරත්න මහත්මියගේ නම නැවතත් යෝජනා කර තිබුණා.
ඇයගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ බහුතරය විසින් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණේ ඇය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පරීක්‍ෂණයක් පවත්වන ලද බවට වන හෝඩුවාවක් පදනම් කරගනිමින්.
කෙසේ වෙතත් මෙවර එල් එස් අයි ජයරත්න මහත්මියගේ නම නැවතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එය ඒකමතිකව සම්මත වූ බවයි වාර්තා වන්නේ.

Share